Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features එංගලන්ත පාපන්දු ලෝලීන්ගේ නොහොබිනාකම්

එංගලන්ත පාපන්දු ලෝලීන්ගේ නොහොබිනාකම්

editorial - 2021 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 


(සැකසුම - දමින්ද විජේසූරිය)

යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේදී ලද පරාජයෙන් වියරු වැටුණු එංගලන්ත පාපන්දු ලෝලීහු වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ සිටි ඉතාලි ජාතිකයන්ට පන්න පන්නා පහර දුන්නා පමණක් නොව, තමන්ගේම කණ්ඩායමේ සිටි කළු ජාතික ක්‍රීඩකයන්ටත් අවමන් කළහ. මේ සම්බන්ධයෙන් එංගලන්තයේ දේශපාලන නායකයන්ගේ මෙන්ම පාපන්දු සංගම් නිලධාරීන්ගේද බලවත් කණස්සල්ල පළවී තිබේ. 

එංගලන්ත කණ්ඩායමේ සිටින මාකස් රැෂ්ෆෝඩ්, ජේඩ්න් සැන්චෝ සහ බුකායෝ සාකාට හිමිවූ දඬුවම් පහර අසාර්ථක වීම හේතුවෙන් අවසන් මහ තරගයේදී ඉතාලියට දඬුවම් පහර 3-2 ක ජයක් හිමිවිය. ඔවුන් තිදෙනාගෙන් මාකස් රැස්ෆෝඩ් සහ බුකායෝ සාකා කළු ජාතික ක්‍රීඩකයන්  වන අතර ජේඩ්න් සැන්චෝ මිශ්‍ර ජාතිකයෙකි. 

ඔවුන් තිදෙනාගේම දඬුවම් පහර අසාර්ථක වූ හෙයින් මුහුණු පොතේ මෙන්ම අනෙකුත් සමාජ ජාලාවල මෙම ක්‍රීඩකයන්ට අවමන් කරමින් විවිධ අපහාසාත්මක ප්‍රකාශ පළ කෙරිණ. මෙවැනි දේ යළි නොවීමට තමන් මින් ඉදිරියේදී සුවිශේෂී පියවර අනුගමනය කරන බව ෆේස් බුක් සමාගම කියයි. 

එංගලන්තයේ පාපන්දු ලෝලීහු දශක ගණනාවක සිටම නොහොබිනාකම් වලට කීර්තියක් උසුලති. 

තරගාවලිය ආරම්භ වීමට පෙර ‘අපි වර්ගවාදයට එරෙහි වෙමු’ යයි කී එංගලන්ත පාපන්දු ක්‍රීඩකයන්ගේ ක්‍රියාකාරකම් වලටද හූ කියමින් එංගලන්ත පාපන්දු ලෝලීහු විරෝධය දැක්වූහ. මෙම නොහොබිනා පාපන්දු ලෝලීන්ට නිසි ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් මහතා ද දැඩි විවේචනයට ලක්විය. 

එංගලන්ත පාපන්දු පිලේ කළමණාකරු ගැරත් සවුත්ගේට් මහතා කීවේ පාපන්දු ලෝලීන්ගේ මෙම අවමන් සහගත හැසිරීමට කිසිදා සමාවක් දිය නොහැකි බවයි. 

“ඒවායින් (අපහාස) සමහරක් ආවේ පිටරටින්. තවත් සමහරක් අපේම රටෙන්. ඒත් මේවා ගැන අපිට කලින් කියලා තිබුණා... මිනිසුන් එකිනෙකා එකතු කිරිම සම්බන්ධයෙන් අපි (එංගලන්තය) ලෝකයේ ආලෝකය වෙලා තිබුණ රටක්. ජාතික කණ්ඩායම සෑම දෙනාටම විවෘත විය යුතුයි” යයි ගැරත් සවුත්ගේට් මහතා පැවසීය. 

තමන්ගේ පාපන්දු කණ්ඩායමට කළ ගැරහීම් සම්බන්ධයෙන් එංගලන්ත අගමැතිවරයාද මහත් සේ කම්පා වී සිටියේය. මක්නිසාද යත් එංගලන්තය මෙවන් අවසන් මහ තරගයකට සුදුසුකම් ලබාගත්තේ වසර 55 කට පසුව වන බැවිනි. 

“සමාජ මාධ්‍ය හරහා, මේ එංගලන්ත කණ්ඩායමට වර්ගවාදීන් ලෙසින් ගරහන්න නෙමේ.. ඔවුන් වීරයන් ලෙසින් අගය කළ යුතුයි. මේ ආකාරයට ඔවුන්ට ගරහන අය තමන් ගැනම ලැජ්ජා විය යුතුයි” යයි එංගලන්ත අගමැතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් දමා තිබිණ.  

මේ අතර ෆේස්බුක් සමාගම කඩිනම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අපහාසාත්මක කියමන් ඉතාම ඉක්මනින් ඉවත් කරන ලද බවයි. 

තරගය ආරම්භ වීමට පෙරම, ප්‍රවේශ පත් නොතිබූ කලහකාරී එංගලන්ත පාපන්දු ලෝලීහු වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ රැකවල් බිඳගෙන ක්‍රීඩාංගණයට කඩා වැදුණහ. ඒ අතරවාරයේදී ඔව්හු ඉතාලි ජාතිකයන්ට පන්න පන්නා පහර දුන්හ. 

එංගලන්ත පාපන්දු සංගමයේ සභාපතිවරයා වන්නේ පොදුරා්‍ය මණ්ඩලයේ කිරුළ හිමි විලියම් කුමරුන්ය. විලියම් කුමරුද සිය බිරිඳ වන කේට් මිඩ්ල්ටන් සහ පුතණුවන් වන ජෝර්ජ් කුමරු සමග අවසන් මහ තරගය නරඹමින් සිටියේය. විලියම් කුමරු කීවේ මෙවන් සිදුවීම් තමන්ට එපාවී තිබෙන බවයි. 

පරාජය දරාගත නොහැකි පාපන්දු ලෝලීන්ගේ කොතෙක් නොහොබිනාකම් තිබුණ නමුත් බහුතරය ක්‍රීඩකයන් සමග එක්ව සිටියහ. 
“අපි ඉන්නේ අපේ ක්‍රීඩකයන් සමගයි” යයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය නිල නිවේදනයක් කර තිබිණ. ඔවුන්ගේ ප්‍රධාන තේමාවක් වූයේ කොරෝනා වයිරසයෙන් දරුණු ලෙසින් බැට කෑ එංගලන්තය නැවත නඟා සිටුවීමේදී පාපන්දු ක්‍රීඩකයන් විශාල වැඩ කොටසක් කළ බවයි. 

යුරෝ කුසලාන පාපන්දු අවසන් මහ තරගයේදී එංගලන්ත කණ්ඩායම ජයගතහොත් තමන්ට හිමිවන ත්‍යාග මුදල එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාවට පිරිනැමීමට බව එංගලන්ත ක්‍රීඩකයෝ සූදානමින් සිටියහ. අවසන් තරගයෙන් ජයගත්තේ නම් ස්ටර්ලිං පවුම් මිලියන 24 ක මුදලක් එංගලන්ත පාපන්දු සංගමයට හිමිවෙයි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 660 ක් ඉක්මවන්නකි. 

මෙම සම්පූර්ණ ත්‍යාග මුදලින් පවුම් මිලියන 9.6 ක් එංගලන්ත පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර බෙදී යයි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 260 ක් පමණ වෙයි. එහෙත් ක්‍රීඩකයන්ගේ අරමුණ වන්නේ එම මුදල් එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාවට පිරිනැමීමයි. 

කෙසේ වෙතත් අවසන් මහ තරගයේදී පරාජය වූ එංගලන්ත පිලට හිමිවන ත්‍යාග මුදල පවුම් මිලියන 8.5 ක් හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 235 ඉක්මවන්නකි. එංගලන්ත පාපන්දු ක්‍රීඩකයෝ, යුරෝ කුසලාන තරගාවලියේ මූලික වටයේදී හිමිවන තරග මුදල් පවා මේ වන විටත් විවිධාකාර සමාජ සත්කාර කටයුතු සඳහා ප්‍රදානය කළහ.

කොරෝනා වයිරසයට එරෙහි සටනේදී එංගලන්ත මැද පෙළ ක්‍රීඩක ජෝර්ඩ්න් හෙන්ඩර්සන්ගේ සමාජ සත්කාර කටයුතු හේතුවෙන් ඔහුට දැනටමත් එම්.බී.ඊ (බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සාමාජික) ගෞරව නාමය පිරිනමා තිබේ. 

 


අදහස් (1)

එංගලන්ත පාපන්දු ලෝලීන්ගේ නොහොබිනාකම්
  • මහීල් Tuesday, 13 July 2021 03:45 PM

    අපොයි කමක් නෑ. මොකුත්ම කියන්න එපා. නොදැක්කා වගේ ඉන්න ඕනෑ. අපේ ස්වාමි වරුන්ගේ රටලුනේ එංගලන්තේ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.