Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features බෙදාගත් රන් පදක්කමක කතාව

බෙදාගත් රන් පදක්කමක කතාව

editorial - 2021 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-------------------------------------
සැකසුම - දමින්ද විජේසූරිය
--------------------------------------

ක්‍රීඩාව හෝ ඉසව්ව කුමක් වූවත් ඔලිම්පික් උළෙලේ රන් පදක්කමක් පෙනි පෙනී තිබෙන අවසන් තරගයක සටනක තරම, නැතහොත් එකිනො පරයා තමන් ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්නට තිබෙන උත්සාහය ගැන කවර කතාද ? එහෙත් සිය දෑස් මානයේ තිබූ රන් පදක්කම අනෙකා සමග බෙදා ගැනීමට ඉදිරිපත් වීම, ඇතැම් විට ජපානයේ පෙළ පොත් අතරට එක්වන මීළඟ ඔලිම්පික් කතාව ද විය හැකිය.

එවැන්නක් සිදුවූයේ ඔලිම්පික් ඉතිහාසයේ වසර 109 කට පසුවය. ඉසව්ව උස පැනීමේ අවසන් තරගයයි.

පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසන් තරගයේදී ඉතාලියේ ජන්මර්කෝ තම්බෙරී සහ කටාරයේ මූතාස් බර්ෂිම් එකිනෙකා පරයමින් රන් පදක්කම දිනාගැනීමේ සටනක නිරතව සිටියහ.

දෙදෙනාම මීටර 2.37 ක් පැන සම තත්ත්වයේ සිටියදී රන් පදක්කමේ හිමිකරුවා තෝරා ගැනීමේ අභියා්ගය තරග තීරකවරයාට තිබිණ. හරස් බාධකය මීටර 2.39 දක්වා උස්කළ නිලධාරීහු දෙදෙනාටම තවත් පැනීම් තුනක් දුන් නමුත් දෙදෙනාගෙන් කිසිවකුට එතැනින් ඉහළට යා නොහැකි විය.

එහෙත් දැන් ඇත්තේ රන් පදක්කම ප්‍රශ්නයකි. තරග නිලධාරීන් යළිත් අමාරුවේ වැටුණ බැවින් දෙදෙනාටම තවත් අවස්ථාවක් බැගින් පිරිනැමිණ. හදිසියේම පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඉතාලි ක්‍රීඩක තම්බෙරී අවසන් උත්සාහයෙන් ඉවත්විය. වෙනත් තරගකරුවන් නැත. කටාරයේ බර්ෂිම්ට පහසුවෙන්ම රන් පදක්කම ගෙළ ලාගත හැකි අවස්ථාවක් තිබිණ. එහෙත් බර්ෂිම් විනිසුරුවරයා සොයා ගියේය.

“මමත් මගේ අවසන් උත්සාහයෙන් ඉවත් වුණොත් අපි දෙන්නාට රන් පදක්කම සමසේ බෙදාගන්න පුළුවන්ද ?”

එවර විනිසුරුවරයා අලි අමාරුවක වැටිණ. එහෙත් සිය උසස් නිලධාරීන්ගෙන් විමසා බැලූ පිටියේ විනිසුරුවරයා ක්‍රීඩකයාට උත්තරයක් දුන්නේය.

“ඔව්. එතකොට රන් පදක්කම ඔබ දෙදෙනා අතරේම බෙදී යනවා” යන්න විනිසුරුවරයාගේ පිළිතුර විය.

දෙවරක් නොසිතාම බර්ෂිම් අවසන් උත්සාහය ගැනීමේ අවස්ථාවෙන් ඉවත් වූයේය. සැණෙකින් එතැනට දිව ආ ඉතාලි ජාතික තම්බෙරී, බර්ෂිම් වැළඳගෙන සිය සතුට පළකරන්නට විය.

වසර 2017 දී සහ 2019 දී උස පැනීමේ ලෝක ශූරතා දෙකක්ම දිනා ඇති බර්ෂිම්ට ඔලිම්පික් පදක්කමක් යනු අලුත් දෙයක් නොවේ. ඔහු 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමද, 2016 රියෝ ඔලිම්පික් උළෙලේදීත් උස පැනීමේ රිදී පදක්කමද දිනාගත්තේය. එබැවින් මෙවර රන් පදක්කම දිනාගැනීමට ඔහුට සියලු සුදුසුකම් ඇතත් බර්ෂිම්ගේ අරමුණ වූයේ එය බෙදාගැනීමයි.

මේ ක්‍රීඩාවේ සැබෑ යථාර්තයයි. එහි වර්ණ, ජාති, ආගම් හෝ වෙනත් සීමා මායිම් නොසැලකේ. දෙදෙනාගේ භාෂාවන් කිසි සේත්ම එකිනෙකා තේරුම් නොගන්නා නමුත් පිටියේදී කෙරෙන වැළඳගැනීමක උණුසුම හදවත් පතුළටම දැනෙන්නේය.

ක්‍රීඩා පිටියේදී දක්නට ලැබෙන, වචනයෙන් විස්තර කළ නොහැකි සහෝදරත්වය, ක්‍රීඩාශීලිත්වය සහ එකිනෙකා කෙරෙහි තිබෙන්නාවූ ගෞරවය අන් කිසිතැනෙක දැකගත නොහැක.

නූතන ඔලිම්පික් ක්‍රීඩාව බිහිවූයේ ඒ වෙනුවෙනි. නූතන ඔලිම්පික් ක්‍රීඩාව වෙනුවෙන් නිදි වරා වෙහෙසුනු ප්‍රංශ වංශාධිපති පියරේ ද කුබර්ටීන් ඇතුළු පිරිසට, තම්බෙරී - බර්ෂිම් දෙදෙනාගේ වැළඳගැනීම උපහාරයක් ම වේවා.

 


අදහස් (0)

බෙදාගත් රන් පදක්කමක කතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.