Last Update  :  2026-05-15 17:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic ද්විත්ව කඩුලු තරගාවලිය හෙට - අනිද්දා

ද්විත්ව කඩුලු තරගාවලිය හෙට - අනිද්දා

editorial - 2026 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලංකා හෙරිටේජ් ක්‍රිකට් සමාජය විසින් තුන්වැනි වරටත් සංවිධානය කරනු ලබන ද්විත්ව කඩුලු තරගාවලිය හෙට සහ අනිද්දා (16 සහ 17) කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම වසරේ තරගාවලිය සඳහා කණ්ඩායම් 24 ක් තරඟ වදින අතර, මෙම තරගාවලියට සහාගිවීම සඳහා කණ්ඩායම් අතර පවතින උනන්දුව එන්න එන්නම වැඩිවෙමින් පවතින බව ලංකා හෙරිටේජ් ක්‍රිකට් සමාජය පසුගියදා නිවේදනය කළේය. 

වයස අවුරුදු 45 ට වැඩි ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගී වන තරගාවලිය ලබන වසරේ සිට අන්තර්ජාතික මට්ටමට උසස් කරමින්, එය විදේශීය කණ්ඩායම් වලටත් විවෘත කිරීමට ලංකා හෙරිටේජ් ක්‍රිකට් සමාජය බලාපොරොත්තුවෙන් සිටී. 

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් පිතිකරු රෝයි ඩයස් මහතා තරගාවලියේ ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් අතර කීර්තිමත්ම නායකයකු වන අනුර තෙන්නකෝන් මහතා තරගාවලියේ සමාප්ත උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා ලබා සිටී. 

ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමෙන නමුත් තරගාවලිය විනෝදාත්මක ආකාරයෙන් පැවැත්වෙයි. එහෙත් තරගකාරීත්වයේ කිසිදු අඩුවක් නැත. 

ක්‍රිකට් ක්‍රීඩාව ඉමක් කොනක් නැති අවිනිශ්චිතතාවයන්ගෙන් යුත් ක්‍රීඩාවකි. එහි ද්විත්ව කඩුලු‍ ආකෘතිය වඩාත් උද්වේගකර අවසානයන් ගෙන එන්නේ පිතිකරුවන් දෙදෙනාම දැවී ගියද පිතිකරුවන්ට දිගටම පිටියෙ රැඳී සිටීමට සිදුවන බැවිනි. ප්‍රතිවාදීන්ගේ ලකුණු සංඛ්‍යාව ඉක්මවා ගියද, නියමිත ඕවර 2 අවසානයේදී කණ්ඩායම පරාජය වීමටත් ඉඩ තිබේ. සෑම දැවී යාමකටම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 5 ක් අඩුකෙරෙන අතර නියමිත ඕවර 2 අවසානයේදී කණ්ඩායමට සෘණ (-) ලකුණු සංඛ්‍යාවක් ලැබීමටත් ඉඩ තිබේ. 

සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් හතර දෙනෙකුගෙන් සමන්විතය. නමුත් තරඟයක් සඳහා පිටියට පිවිසිය හැක්කේ දෙදෙනෙකුට පමණි.

තුන්වැනි වරටත් පැවැත්වෙන තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් වශයෙන් ‘ඒ’ ඇන්ඩ් ‘ඊ’ සමාගම ඉදිරියට පැමිණ තිබේ. ඔවුන්ට අමතරව, ෆියුචර් ලයිෆ් හෝල්ඩිංග්ස්, එල්.ඕ.එල්.සී. මූල්‍ය සමාගම, ෆීනික්ස්, නිත්‍යකල්‍යාණි ස්වර්ණාභරණ ආයතනය, පියෝ ස්පෝට්ස්, ජනශක්ති සමූහ ව්‍යාපාරය සහ චාන්ස් ස්පෝට්ස් සමාගම සම අනුග්‍රාහකයෝ ලෙසින් කටයුතු කරති. 


අදහස් (0)

ද්විත්ව කඩුලු තරගාවලිය හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.