Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ස්මිත් - වෝනර් ඉල්ලා අස්වෙති

ස්මිත් - වෝනර් ඉල්ලා අස්වෙති

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර කේප්ටවුන් නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වගකීම බාරගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ බව අද (25) නිවේදනය කළ අතර පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් තමන් පරීක්‍ෂණයක් පවත්වන බවද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

නායකයා මෙන්ම උපනායකයා යන දෙදෙනාම තනතුරු වලින් ඉවත්වීම නිසා කණ්ඩායමේ කඩුලු රකින්නා වන ටිම් පේන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමට පත්කර තිබේ. ටිම් පේන් 33 හැවිරිදි ක්‍රීඩකයෙකි.

තුන්වැනි ටෙස්ට් තරගයේ ඉතිරි කොටසේදී මෙන්ම තරගාවලියේ ඉතිරි කොටසේදීත් ඕස්ට්‍රේලියානු පිල මෙහෙයවීමට ටිම් පේන්ට බාරවී තිබේ.

පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසුව ඒ පිළිබඳ වගකීම බාරගත් ඕස්ට්‍රේලියානු නායකයා පැවසුවේ තමන් නායකයා වශයෙන් මහත් අපහසුතාවට පත්ව සිටින බවයි. ඕස්ට්‍රේලියානු පිලේ සිටින ළාබාළතම ක්‍රීඩකයා වන 25 හැවිරිදි කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබීය.

ඇළවෙන සුළු පටියක් සහ තණතීරුව මත ඇති මැටි සහිත පස උපයෝගී කරගනිමින් පන්දුව පළුදු කිරීමට ඔහු උත්සාහ දරා ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව චෝදනා කර තිබිණ.

ස්මිත් පළමුව කීවේ තමන් නායකත්වයෙන් ඉල්ලා අස් නොවන බවයි. එහෙත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩා අධිකාරියේ සහ අනෙකුත් පර්ශ්වයන්හි පීඩනයෙන් පසුව ස්මිත් සහ වෝනර් දෙදෙනාම නායකත්වයෙන් ඉල්ලා අස්වූහ.

ඔහුගේ ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුවක් වූයේ තරගයේ තුන්වැනි දිනය වූ සෙනසුරාදා (24 වැනිදා) පන්දුව පළුදු කිරීමේ උපාය මාර්ගය සැලසුම් කළේ තමන් බව ස්මිත් පිළිගැනීමයි.

සෙනසුරාදා දිවා ආහාරයෙන් පසුව කැමරන් බැන්ක්‍රොෆ්ට් සිය කලිසම් සාක්කුවෙන් කහ පැහැති යමක් ගෙන එය පන්දුවේ අතුල්ලන දර්ශන පටිගතවී තිබීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු විශාල ප්‍රභූ පිරිසක් ස්මිත් නායකත්වයෙන් ඉවත් කළ යුතු යයි ප්‍රසිද්ධියේම පැවසූහ.

“කොහොම වුණත් මේ ටෙස්ට් තරගය පවත්වාගෙන යන්න ඕනෑ. ඒ නිසා අපි ටිම් පේන්ව නායකත්වයට පත්කරනවා. ඒත් සිද්ධිය ගැන අපි පරීක්‍ෂණයක් කරනවා” යයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඞ් මහතා පැවසීය.

ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දෙදෙනාම ටිම් පේන්ගේ නායකත්වය යටතේ ඊයේ (25) පිටියට පිවිසියහ.

දකුණු අප්‍රිකානු පුහුණුකරු ඔටිස් ගිබ්සන් මහතා ප්‍රකාශ කර සිටින්නේ මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ගනු ලබන පියවර සම්බන්ධයෙන් සියලු දෙනාම ඉතා විමසිල්ලෙන් බලා සිටින  බවයි.

ක්‍රිකට් පිටියේදී සිදුවන මෙවැනි වංචා කිරීම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව දැඩි පියවර ගනී. වසර 2001 දී පන්දුව අතේ නොමැතිව කඩුල්ල කඩා දමමින් පිතිකරුවකු දවාගැනීමට උත්සාහ කළ කොදෙව් කඩුලු රකින්නා වූ රිඞ්ලි ජේකබ්ස්ට තරග 3 ක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කළේය.

කේප් ටවුන් ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 311 ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 255 ක් පමණි. මුල් ඉනිමේදී ලකුණු 56 ක අවාසියකට මුහුණ දුන් ඕස්ට්‍රේලියානුවෝ සෙනසුරාදා දිවා ආහාරය වන විටත් සත්කාරකයන්ට වඩා බොහෝ පසුපසින් සිටියේය.

සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම සෙනසුරාදා දිවා ආහාරය වන විට කඩුලු 9 ක් අතැතිව ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 121 ක් ඉදිරියෙන් සිටියේය. පන්දුව පළුදු කිරීමේ උත්සාහය ගනු ලැබුවේ එවන් තත්ත්වයක් තිබියදීය.

තරගයේ සිවුවැනි දිනය වන අද (25 වැනිදා) දකුණු අප්‍රිකානු පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 373 ක් ලබාගත්තේය. තරගයෙන් ජයගැනීමට නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිවුවැනි ඉනිමේදී ලකුණු 430 ක් ලබාගත යුතුව තිබේ.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 311
(ඩීන් එල්ගා 141, හසිම් අම්ලා 31, ඒ. බී. ඩිවිලියර්ස් 64, කගීසෝ රබාඩා 22, ජොස් හේසල්වුඞ් 59/2, නේතන් ලයන් 43/2, පැට් කමින්ස් 78/4)
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 255
(කැමරන් බැන්ක්‍රොෆ්ට් 77, ඬේවිඞ් වෝනර් 30, ෂෝන් මාෂ් 26, ටිම් පේන් නොදැවී 34, නේතන් ලයන් 47, ජොස් හේසල්වුඞ් 10, කගීසෝ රබාඩා 91/4, මෝර්නි මෝකල් 87/4)
දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම 373
(ඒඞ්න් මාක්රාම් 84, ඩීන් එල්ගා 14, හසිම් අම්ලා 31, ඒ.බී.ඩිවිලියර්ස් 63, ෆෆ් ඩු’ප්ලෙසි 20, ක්වින්ටින් ඩි’කොක් 65, වර්නන් ෆිලැන්ඩර් 52, කගීසෝ රබාඩා 20, ජොස් හේසල්වුඞ් 69/3, පැට් කමින්ස් 67/3, නේතන් ලයන් 102/3)

 


අදහස් (2)

ස්මිත් - වෝනර් ඉල්ලා අස්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.