Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner දකුණු අප්‍රිකාව පළමු ජය ලබයි

දකුණු අප්‍රිකාව පළමු ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හී නිව් වොන්ඩර්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (10 වැනිදා) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත් විය. එම ජයත් සමගින් තරගාවලියේ පළමු ජය හිමිකරගත් දකුණු අප්‍රිකාවට තරගාවලිය සමකර ගැනීමට අවස්ථාව හිමිවූ අතර තරග 6 කින් සමන්විත එක්දින තරගාවලිය 3-1 ක් ලෙස ඉන්දීයාව පෙරමුණ ගෙන සිටින්නේය.

ජයග්‍රහණය සදහා ඕවර 50 කදි ලකුණු 290 ක ඉලක්කයක් දකුණු අප්‍රිකාව විසින් හඹාගියද අටවැනි ඕවරයේදී වර්ෂාව ඇතිවිම හේතුවෙන් මිනිත්තු 101 ක පමණ කාළයත් තරගය පැවැත්වීමට නොහැකි විය. වර්ෂාවෙන් අනතුරුව ඇරඹී තරගය ඕවර 28 කට සීමාවූ අතර ලකුණු 202 ක ඉලක්කයක් දකුණු අප්‍රිකාවට හිමිවිය.

ලකුණු 77 කට කඩුලු 3 ක් දැවී තිබියදී පන්දුවට පහරදිම සදහා පිටියට පිවිසි ඬේවිඞ් මිලර් සමගින් එක්ව ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමට ඒ.බී.ඩිවිලියර්ස් උත්සහ කළද හර්දින් පාණ්ඩ්‍යයාගේ පන්දුවකට රෝහිත් ශර්මා අතට උඩපන්දුවක් දෙමින් දැවීයනවිට පන්දු 18 කට මුහුණදුන් ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 26 ක් පමණි. හයේ පහර දෙකක් සහ හතරේ පහරක් ඩිවිලියර්ස්ගේ ඉනිමට ඇතුළත් විය.

ඩිවිලියර්ස්ගේ දැවීයාමත් සමගින් පිටියට පිවිසි හෙන්රික් ක්ලාසන් පස්වැනි කඩුල්ල සදහා ඬේවිඞ් මිලර් සමගින් එක්ව පන්දු 41 කදී ලකුණු 72 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණයට අඩිතාලම දැමීමට ඔවුන් සමත්වූහ. යුස්වේන්ද්‍ර චහල්ගේ පන්දුවක් හමුවේ ඬේවිඞ් මිලර් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවියාමත් සමගින් පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳවැටුණු අතර පන්දු 28 කට මුහුණදුන් ඔහු හයේ පහර 2 ක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 39 ක් රැස්කළේය.

පසුගිය තරග වලදි ඉන්දිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දඟ පන්දුවෙන් දස්කම් දැක්වූ කුල්දීප් යාදව් සහ යුස්වේන්ද්‍ර චහල්ට පහර පිට පහරදෙමින් ලකුණු රැස්කළ හෙන්රික් ක්ලාසන් සහ ඇන්ඞ්ලි පෙලුක්වායෝ හයවැනි කඩුල්ල සදහා පන්දු 11 කදී ලකුණු 33 ක සම්බන්ධතාවයක් පවත්වමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

තරගය නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටි හෙන්රික් ක්ලාසන් පන්දු 27 කදී හෙය් පහරක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 43 ක් රැස්කළ අතර ඇන්ඞ්ලි පෙලුක්වායෝ පන්දු 5 කදී හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 23 ක් රැස්කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර  අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 289 ක් රැස්කිරීමට සමත්විය.

දෙවැනි කඩුල්ල සදහා විරාට් කෝලී සමගින් පන්දු 163 කදී ලකුණු 158 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ශීකර් ධවාන් සිය 13 වැනි එක්දින ශතකය ලබාගැනීමට සමත්විය. පන්දු 105 කට මුහුණදුන් ශීකර් ධවාන් හයේ පහර දෙකක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 109 ක් රැස්කරමින් ඉන්දිය කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේය.

ශීකර් ධවාන්ට අනගි සහයක් ලබාදුන් විරාට් කෝලී පන්දු 83 කදී හයේ පහරක් සහ හතරේ පහර හතක් සමගින් ලකුණු 75 ක් රැස්කළ අතර මහේන්ද්‍ර සිං දෝනී පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 42 ක් රැස්කරමින් ඉන්දිය ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ රැඳි සිටියේය.

 

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 289
(ශීකර් ධවාන් 109, විරාට් කෝලී 75, මහේන්ද්‍ර සිං දෝනී නොදැවී 42, ලුංගිසානී ගිදි 52/2, කගිසෝ රබාඩා 58/2)

දකුණු අප්‍රිකාව - ඕවර 25.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 207
(ඒඞ්න් මක්‍රම් 22, හසීම් අම්ලා 33, ඒ.බී.ඩිවිලියර්ස් 26, ඬේවිඞ් මිලර් 39, හෙන්රික් ක්ලාසන් නොදැවී 43, ඇන්ඞ්ලි පෙලුක්වායෝ නොදැවී 23, කුල්දිප් යාදව් 51/2)

 


අදහස් (0)

දකුණු අප්‍රිකාව පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.