Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ දෙවැනි තරගයත් දිනති

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ දෙවැනි තරගයත් දිනති

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර හාබර් කොෆ්ස් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති කාන්තා අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 75 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

මෙම ජයත් සමගින් කාන්තා  ‘අළු බඳුන’ තරගාවලියේදී 2-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානුවෝ සමත්ව සිටිති. බ්‍රිස්බේන්හිදී පැවැති පළමු එක්දින තරගයේදීත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ කඩුලු දෙකක ජයක් අත්කරගත්හ.

වර්ෂාව හේතුවෙන් එංගලන්ත ඉනිම ඕවර 46 කට සීමා කෙරුණ අතර තරගය ජයගැනීම සඳහා එහිදී ඔවුන්ට ලකුණු 285 ක ඉලක්කයක් හිමි විය. එහෙත් මීගන් ෂූට් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන් හමුවේ එංගලන්ත පිතිකාරිණියන්ට ඕවර 42.2 ක් අවසානයේ රැස්කරගත හැකි වූයේ ලකුණු 209 ක් පමණි. එංගලන්ත ඉනිමේ එකම අර්ධ ශතක ලාභිණිය වූ කැතරින් බ්‍රන්ට් පන්දු 54 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 52 ක් රැස්කළේය. නායිකා හෙදර් නයිට් ලකුණු 36 ක් සහ ෆ්‍රෑන් විල්සන් ලකුණු 37 ක් රැස්කිරීමට සමත් වුවද, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔවුහු අපොහොසත් වූහ.

මුලු ලකුණු සංඛ්‍යාව 20 ක් වන විට එංගලන්ත ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ මීගන් ෂූට්, ලකුණු 26 කට කඩුලු 4 ක් දවාගත්තේ කැතරින් බ්‍රන්ට් සහ ෆ්‍රෑන් විල්සන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යවමිනි. එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය වලක්වාලීමට ඇයට අනගි සහායක් දුන් ක්‍රිස්ටීන් බීම්ස් සහ ජෙස් ජොනසන් කඩුලු 2 බැගින් දවාගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 296 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායිකා රෂෙල් හේන්ස් පන්දු 56 කදී නොදැවී ලකුණු 89 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමගිනි. එලීස් පෙරී (67) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙන්වෙන් පන්දු 75 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රෂෙල් හේන්ස් සමත් වූ අතර පන්දු 75 කදී වාර්තා වූ පෙරීගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

නිකෝල් බෝල්ටන් (66) සහ ඇලිසා හීලි (56) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 120 කදී ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ටේ්‍රලියාවට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 100 කදී වාර්තා වූ බෝල්ටන්ගේ අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 55 කදී වාර්තා වූ හේලිගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.  දක්ෂ පන්දුයැවීමක නිතර වූ ජෙනී ගම් ලකුණු 55 කට කඩුලු 4 ක් දවාගනිමින් එංගලන්ත කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නිය බවට පත් වූවාය.


ඕස්ට්‍රේලියානු කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 296
(නිකෝල් බෝල්ටන් 66, ඇලිසා හේලි 56, එලීස් පේරී 67, රචේල් හේන්ස් නොදැවී 89, ජෙනී ගම් 55/4)

එංගලන්ත කාන්තා පිල - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 209
(සාරා ටේලර් 26, හීදර් නයිට් 36, ෆ්‍රෑන් විල්සන් 37, කැතරින් බ්‍රන්ට් 52, අන්‍යා ශෘබ්සෝල් 21, මේගන් ස්චට් 26/4, ක්‍රිස්ටීන් බීම්ස් 28/2, ජෙස් ජොනාසෙන් 50/2)

 

ඡායාරූප - ක්‍රිකට් ඕස්ට්‍රේලියා අනුග්‍රහයෙනි


- 036


අදහස් (0)

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ දෙවැනි තරගයත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.