Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ඉන්දියාව 4-1 කින් ද.අප්‍රිකාව පරදවයි

ඉන්දියාව 4-1 කින් ද.අප්‍රිකාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පෝට් එලිසබෙත්හිදී ඊයේ (13 වැනිදා) පැවැති පස්වැනි එක්දින තරගයෙන් ලකුණු 73 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එම ජයත් සමග තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 6 කින් සමන්විත එක්දින තරගාවලිය 4-1 ක් ලෙස ජයගැනීමටද ඉන්දීයාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 275 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 42.2 ක් අවසානයේ ලකුණු 201 කට සීමා කිරීමට කුල්දීප් යාදව් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිතර වූ යාදව් ලකුණු 57 කට කඩුලු 4 ක් දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් හර්දීක් පාණ්ඩ්‍යා සහ යුස්වින්දර් චාහල් කඩුලු 2 බැගින් දවාගත්හ.

පන්දු 95 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 71 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් හෂීම් අම්ලා, ඉතා අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට ලක්විය. ඬේවිඞ් මිලර් (36) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 83 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අම්ලා සමත් විය. පන්දු 51 කදී වාර්තා වූ මිලර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

නායක ඒඞ්න් මාක්‍රම් පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 32 ක්ද, හෙයින්රිච් ක්ලාසෙන් පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 39 ක්ද රැස්කළ නමුත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීමට ඔවුහු අපොහොසත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 115 ක් රැස්කිරීමට ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා සමත් විය. පන්දු 126 කට මුහුණදුන් ශර්මා සිය 17 වැනි එක්දින ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 11 කින් අලංකාර කළේය. විරාට් කෝලි (36) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 105 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශර්මා, ඉන් නොනැවතී ශ්‍රෙයාස් අයියර් (30) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ලුංගිසානි ගිදි ලකුණු 51 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


ඉන්දීය පිල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 274
(ශිකර් ධවාන් 34, රෝහිත් ශර්මා 115, විරාට් කෝලි 36, ශ්‍රෙයාස් අයිර් 30, බුවනේෂ්වර් කුමාර් නොදැවී 19, ලුංගිසානි ගිදි 51/4)

දකුණු අප්‍රිකානු පිල - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 201  
(හෂීම් අම්ලා 71, ඒඞ්න් මාක්‍රම් 32, ඬේව්ඞ් මිලර් 36, හෙයින්රිච් ක්ලාසෙන් 39, කුල්දීප් යාදව් 57/4, යුස්වින්දර් චාහල් 43/2, හර්දීක් පාණ්ඩ්‍යා 30/2)


- 036

 


අදහස් (0)

ඉන්දියාව 4-1 කින් ද.අප්‍රිකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.