Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner මැතිව්ස් පිතිහරඹයට පමණයි

මැතිව්ස් පිතිහරඹයට පමණයි

Nisanka Sandeepani - 2017 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිතිකරු ලයිස්තුවේ අංක 4 ස්ථානය තෝරාගෙන ඇති බවත් ඔහු ටෙස්ට් තරග වලදී පන්දු යැවීම සඳහා යොදාගැනීමට බලාපොරොත්තු නොවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කියයි. දකුණතින් මඳ වේග පන්දු යවන හිටපු නායකයා මේ වන විට ටෙස්ට් තරග 69 කදී ඕවර 638 ක් යවමින් කඩුලු 33 ක් දවාගෙන ඇති ඇන්ජලෝ මැතිව්ස් අවස්ථානුකුලව පමණක් පන්දුව අතට ගන්නා ක්‍රීඩකයෙකි. 

කෙසේ වෙතත් මැතිව්ස් තවදුරටත් ආබාධ වලට ලක්වීමෙන් ආරක්‍ෂා කරගැනීමේ අපේක්‍ෂාවෙන් ටෙස්ට් තරග වලදී ඔහුගේ සේවය පිතිකරුවකු ලෙසින් පමණක් ලබාගැනීමට තීරණය කර තිබේ. 

පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති තරගාවලියේදී ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 ක් ලෙසින් එම තරගාවලිය ජයගැනීමට සමත් වූයේය. ඉන්දියානු පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා මැතිව්ස්ගේ පැමිණීම ශ්‍රී ලංකා පිලේ පිතිකරු ලයිස්තුව ශක්තිමත් කිරීමකි. 

ඉන්දීය පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේදී පාදයේ බත්කෙණ්ඩ මස්පිඬුව ඉරීයාම හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් බොහෝ විට විවිධ ශාරීරික ආබාධ වලට ලක්වන ක්‍රීඩකයෙකි. කෙසේ වෙතත් එක්දින තරග වලදී අවශ්‍ය වුවහොත් ඕවර කිහිපයක් යැවීමට ඇන්ජලෝ යොදාගන්නා බවද තේරීම් කමිටු සාමාජිකයෙක් පැවසීය. 

“ඇන්ජලෝ මේ කණ්ඩායමට එකතු වෙන්නේ පිතිකරුවකු ලෙසින් පමණයි” යයි ශ්‍රී ලංකා පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ඊයේ නිමාවූ දෙදින තරගය නිමාවේදී වාර්තාකරුවන්ට පවසා තිබිණ. 

ටෙස්ට් තරග සඳහා සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන්නේ කුකබරා පන්දුවක් වන නමුත් ඉන්දියාවේ තරග වලදී ‘එස්ජී’ පන්දුවත් එංගලන්තයේ පැවැත්වෙන තරග වලදී ‘ඩියුක්’ පන්දුවත් භාවිතා කෙරේ. ශ්‍රී ලංකා පන්දු යවන්නන් මේ වන විට එස්.ජී පන්දුවෙන් පන්දු යවමින් එය නොපිටට දෝලනය වන ආකාරය පිරික්සමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

“ආසියානු කලාපයේ ක්‍රිකට් තරග වලදී පන්දුව නොපිටට දෝලනය වීම ඉතාමත් වැදගත් අංගයක්. අපි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිටිනවා”

“එස්.ජී. පන්දුවත් ඩියුක් පන්දුවත් ඒතරම් විශාල වෙනස්කම් ඇති ඒවා නොවෙයි. අපි එයට හුරුවෙමින් ඉන්නවා”යයිද ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා ඉන්දීය මාධ්‍යවේදීන්ට පවසා තිබේ. 


අදහස් (0)

මැතිව්ස් පිතිහරඹයට පමණයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.