Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හයිද්‍රාබාද් පිලට ලකුණු 2 ක තියුණු ජයක්

හයිද්‍රාබාද් පිලට ලකුණු 2 ක තියුණු ජයක්

editorial - 2024 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 23 වැනි තරගය ලෙස පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර චන්දිගර්හිදී අද (9 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 2 ක අතිශය තියුණු ජයක් වාර්තා කිරීමට හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී හයිද්‍රාබාද් කණ්ඩායම ලැබූ තෙවැනි ජය මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180 ක් පමණි. තරගය ජයගැනීමට පන්ජාබ් කණ්ඩායම අවසන් ඕවරයේදී ලකුණු 29 ක් ලබාගත යුතුව තිබුණද එහිදී ඔවුන්ව ලකුණු 26 කට සීමා කිරීමට ජයදේව් උනාඩ්කට් සමත් විය. 

අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයන්හි නිරත වූ ශාෂන්ක් සිං පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 46 ක්ද, අශුතෝෂ් ශර්මා පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් නොදැවී ලකුණු 33 ක්ද රැස්කළ නමුත් පන්ජාබ් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔවුන්ට නොහැකි වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 182 ක් ලබාගත් අතර වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නිටිෂ් රෙඩ්ඩි පන්දු 37 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 64 ක් රැස්කළේය. අබ්දුල් සමාඩ් පන්දු 12 කින් ලකුණු 25 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ අර්ෂ්දීප් සිං ලකුණු 29 කට කඩුලු 4 ක් බිඳහෙළමින් හයිද්‍රාබාද් පිතිකරුවන් පීඩනයට පත්කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් හර්ෂාල් පටේල් ලකුණු 30 කට කඩුලු 2 ක්ද, සෑම් කරන් ලකුණු 41 කට කඩුලු 2 ක්ද දවාගත්හ. 

සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 182  
(ට්‍රැවීස් හෙඩ් 21, අභිෂේක් ශර්මා 16, නිටිෂ් රෙඩ්ඩි 64, අබ්දුල් සමාඩ් 25, අර්ෂ්දීප් සිං 29/4, හර්ෂාල් පටේල් 30/2, සෑම් කරන් 41/2) 

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 180
(ශිකර් ධවාන් 14, සෑම් කරන් 29, සිකන්දර් රාසා 28, ශාෂන්ක් සිං නොදැවී 46, ජිතේෂ් ශර්මා 19, අශුතෝෂ් ශර්මා නොදැවී 33, බුවනේෂ්වර් කුමාර් 32/2) 

-036 


අදහස් (0)

හයිද්‍රාබාද් පිලට ලකුණු 2 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.