Last Update  :  2025-08-15 10:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිම්බාබ්වේ ලකුණු 175 ක් ඉදිරියෙන්

සිම්බාබ්වේ ලකුණු 175 ක් ඉදිරියෙන්

editorial - 2020 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තම ටෙස්ට් දිවියේ සිය හොඳම පන්දු යැවීම සටහන් කළ සිකන්දර් රාසාගේ අද්වීතීය දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 293 දී නතර කරදැමීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ සමත් වූහ. හරාරේ නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ පළමු ඉනිමේදී ලකුණු 406 ක් ලබාගත් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තරගයේ තුන්වැනි දිනය වූ අද සවස වර්ෂාව නිසා ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 62 ක් ලබා සිටියහ.

මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 113 ක වාසියත් සමගින් සිම්බාබ්වේ පිල ඒ වන විට ලකුණු 175 ක් ඉදිරියෙන් සිටියේ කඩුලු 9 ක් අත ඇතිවය.

අඟහරුවාදා සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 122 ක් ලබා සිටියේය. දකුණතින් පිට දඟ පන්දු යවන සිකන්දර් රාසා පෙරවරුවේදී කඩුලු 3 ක් සහ දිවා ආහාරයෙන් පසුව තවත් කඩුලු 3 ක් වශයෙන් අද දිනයේදී කඩුලු 6 ක් දවාගත්තේ ඉනිමේදී ලකුණු 113 කට කඩුලු 7 ක් දවාගනිමිනි.

රාසාගේ දස්කම සිම්බාබ්වේ ක්‍රීඩකයකු ටෙස්ට් තරගයකදී වාර්තා කළ දෙවැනි හොඳම පන්දු යැවීම වශයෙන් සටහන් වේ. හිටපු පා දඟ පන්දු යවන්නකු වූ පෝල් ස්ට්‍රෑන්ග්, වසර 2000 දී නවසීලන්ත පිලට එරෙහිව ලකුණු 109 කට කඩුලු 8 ක් දවාගැනීම සිම්බාවේ වෙනුවෙන් වාර්තා වූ හොඳම ටෙස්ට් පන්දු යැවීමයි.

අද පෙරවරුවේදී තරගය ආරම්භ වීමෙන් පසුව කුසල් මෙන්ඩිස් (22) පළමුවෙන් දැවී ගිය පිතිකරුවාය. එය මහත් අවාසනාවන්ත දැවී යාමක් වූයේ එකම පහරින් ක්‍රීඩකයන් දෙදෙනු ආපසු ක්‍රීඩාගාරයට ගිය බැවිනි. මෙන්ඩිස් ගැසූ පුල් පහරින් ඇදී ගිය පන්දුව ෂෝට් ලෙග්හි සිටි කසූසාගේ හිස් ආවරණයේ වැදී ස්ක්වෙයාර් ලෙග් හි සිටි කාල් මම්බා වෙත උඩපන්දුවක් ලෙසින් ඇදී ගියේය. ඒ සමගම කම්පනයට පත් කසූසා එතැනම බිම ඇද වැටිණු බැවින් ගිලන් මැස්සක තබා පිටියෙන් ඉවතට ගෙන යාමට සිදුවිය.

පිට පිටම දෙවැනි තරගයේදීත් හිසට පන්දුව වද්දා ගත් ආරම්භක පිතිකරු කෙවින් කසූසා නොමැතිව සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සිම්බාබ්වේ පිලට සිදුවිය. ඔහු වෙනුවට ටිමිසෙන් මරුමා සිම්බාබ්වේ කණ්ඩායමට කැඳවා තිබේ. කෙවින් කසූසා පසුව වෛද්‍ය පරීක්‍ෂණ සඳහා රෝහල් ගතකරන ලදි. හිසට වැදුණු පහරින් කසූසා මහත් කම්පනයට පත්ව ඇති බැවින් ඔහු තවදුරටත් මෙම තරගයේදී ක්‍රීඩා නොකරනු ඇත.

දිනේෂ් චන්දිමාල්ගෙන් පෙරළා ලැබුණු පහසු උඩපන්දුවක් රැකගත් සිකන්දර් රාසා දිවා ආහාරයට පෙර ධනංජය ද සිල්වා දවාගත්තේ ධනංජය සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා අතර පැවැති ලකුණු 84 ක සම්බන්ධතාවද බිඳ දමමිනි. සිම්බාබ්වේ පිල වෙනුවෙන් ක්‍රීඩා කරන නමුත් සිකන්දර් රාසා පාකිස්තානයේ උපත ලද ක්‍රීඩකයෙකි. දිවා ආහාරයන් පසුව රාසා සිය පස්වැනි කඩුල්ලත් දවාගත්තේ නිරෝෂන් දික්වැල්ල ආපසු ක්‍රීඩාගාරයට යවමිනි.

පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ජයග්‍රහණයට අඩිතාලම දැමූ ඇන්ජලෝ මැතිව්ස් නැවත වරක් ශ්‍රී ලංකා පිලේ ගැලවුම්කරුවා විය. පන්දු 158 කට මුහුණ දෙමින් ලකුණු 64 ක් ලබාගත් මැතිව්ස් දැවී යන විට පුවරුවේ සටහන් වූයේ ලකුණු 244 කි.

තරගයේ ඉනිම දෙකක් අවසන් වී තවත් දින දෙකක කාලයක් ඉතිරිව තිබේ. එබැවින් මෙම තරගයේ තීරණයක් ලබාගැනීම දෙපිලේම පිතිකරුවන් අත ඇති කාරියකි.

හෙට තරගයේ සිව්වැනි දිනයයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30 ට තරගය ආරම්භ වේ.

..


අදහස් (0)

සිම්බාබ්වේ ලකුණු 175 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.