Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
--------------------
දමින්ද විජේසූරිය
--------------------
පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී බංග්ලාදේශය සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 541 ට සාර්ථක පිළිතුරක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ආරම්භයක් ලබාගත්තේය. දිනයේ අවසානය ආසන්න වෙද්දී ලකුණු 33 ක් ඇතුළත ඉදිරිපෙළ පිතිකරුවන් දෙදෙනකුම දැවී ගිය නමුත් තරගයේ තුන්වැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 229 ක් ලබා සිටියේය.
පිට පිටම දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 112 ක් ලබාගත යුතුය. එහෙත් කඩුලු 7 ක් අතැතිව තිබෙන බැවින් ද, තණතීරුවේ වාසිය තවමත් පිතිකරුවන් වෙතට වන හෙයින් ද, එය එතරම් අසීරු අභියෝගයක් නොවේ.
නායකත්වයේ වගකීම මේ යයි කදිමට පෙන්නුම් කළ දිමුත් කරුණාරත්න පැය 5 කට වැඩි කාලයක් පුරා (විනාඩි 322) පන්දු 211 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 85 ක් ලබාගත්තේය. තණතීරුව කොතෙක් පිතිකරුවන්ට වාසිදායක වූවත්, ක්‍රීඩා පිටිය කොතෙක් වේගවත් වූවත් දිමුත්ගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 8 ක් පමණි.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නළල රැළි නැංවුණ අවස්ථාවක් ද තිබිණ. අද දිනයේ ක්‍රීඩාව නතර කිරීමට ඕවර 2 ක් පමණක් තිබියදී දිමුත් කරුණාරත්න කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ බව විනිසුරු පල්ලියගුරුගේ මහතා තීරණය කළේය. එහෙත් සැණෙකින් විතීවි සහාය ඉල්ලා සිටි ශ්‍රී ලංකා නායකයා තමන් නොදැවුණු බව තහවුරු කරගත්තේ හෙට දිනයටත් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉතිරි කරගනිමිනි.
ශ්‍රී ලංකා ඉනිමට විශිෂ්ට සේවයක් කළ ළහිරු තිරිමාන්නගේ දැවී යාම බංග්ලාදේශ කණ්ඩායම නැවතත් තරගයට කැඳවන්නක් විය. තේ පානයට පෙර යැවුණු අවසන් ඕවරයේදී මෙහෙදි හසන්ගේ පන්දුවකින් තිරිමාන්න දැවී යන විට වමත් පිතිකරුවා පන්දු 125 කින් ලකුණු 58 ක් ලබා සිටියේය. එහෙත් වඩා වැදගත් වූයේ තිරිමාන්න ලබාගත් ලකුණු 58 ට වඩා ඔහු පිටියේ රැඳී සිටියදී බංග්ලාදේශ පන්දු රකින්නන් පිටිය පුරාම දිවයන පරිදි කළ පහර දීමයි. එමගින් බංග්ලාදේශ පන්දු යවන්නෝ පසුපාදයට වැටුණහ.
පන්දු 30 කින් ලකුණු 26 ක් ලබාගත් ධනංජය ද සිල්වා අද දිනයේ ක්‍රීඩාව හමාර කළේ පන්දු යවන්නාගේ හිසට ඉහළින් ගැසූ අලංකාර හතරේ පහරකිනි.
කෙසේ වෙතත් කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් දින දෙකකට වැඩි කාලයක් මිඩංගු කිරීම මෙම තරගයේ උද්යෝගය කා දැමීමක් වූයේය. තරගයේ හරි අඩකටත් වැඩියෙන් නිමා වී තිබුණද තවමත් ඉනිම දෙකක් සම්පූර්ණ කරගත හැකිවී නැත.
(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.