Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්ටුවර්ට් බ්‍රෝඩ් එංගලන්තය ගොඩගනී

ස්ටුවර්ට් බ්‍රෝඩ් එංගලන්තය ගොඩගනී

editorial - 2020 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(සැකසුම : දමින්ද විජේසූරිය)

ඉදිරි පෙළ තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනකුගෙන් සමන්විත එංගලන්තය එහි උපරිම වාසිය ප්‍රයෝජනයට ගනිමින් මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (25 වැනිදා) සවස් වන විට තරගයේ ග්‍රහණය දැඩි කරගෙන සිටියේය. මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 369 ක් ලබාගත් එංගලන්තය අද සවස ක්‍රීඩාව නතර කරන විට කොදෙව් පිලේ කඩුලු 6 ක් ලකුණු 137 කට බිම දමා ගත්තේ ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙනි.


කාසියේ වාසිය අහිමි වූවද ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ ප්‍රහාරාත්මක ලකුණු 62 හේතුවෙන් අසීරුවකින් තොරව ලකුණු 350 කඩයිම පසුකළ එංගලන්තය සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 369 ක් ලබාගත්තේය. පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට නම් කොදෙව් පිල තවත් ලකුණු 32 ක් ලබාගත යුතු නමුත් එය අසීරු අභියෝගයක් බව පෙනෙන්නට නැත.

පන්දු යැවීම ඇරඹූ එංගලන්ත ක්‍රීඩකයෝ වෙනදා නැති උද්යෝගයක් පෙන්නුම් කළහ. සිය පළමු ඕවරයේදීම ක්‍රෙග් බ්‍රැත්වෙයිට් පිටියෙන් ඉවත් කිරීමට ස්ටුවර්ට් බ්‍රෝඩ් සමත් වූයේ කොදෙව් ඉනිම සසළ කරමිනි. ජොෆ්රා ආචර්ගේ කෙටි පන්දුවක් වටහාගත නොහැකි වූ ජෝන් කැම්බෙල් ගලී හි සිටි ජෝ බර්න්ස්ට උඩපන්දුවක් දුන්නේය.

ලකුණු 110 වන විට කොදෙව් පිලේ හයවැනි කඩුල්ලත් බිම වැටුණ නමුත් නායක ජේසන් හෝල්ඩර් සහ ෂේන් ඩව්රිච් එක්ව දිනය අවසන් වන තෙක් සිය කඩුලු ආරක්ෂා කරගත්හ.

තරගයේ පළමු දිනය වූ ඊයේ (24) ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 258 ක් රැස්කර තිබිණ. ඔලී පෝප් (නොදැවී 91) සහ කඩුලු රකින්නා වූ ජොස් බට්ලර් (නොදැවී 56) කඩුල්ලේ රැඳී සිටියහ. කාසියේ වාසිය අහිමි වීමෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවූවද එංගලන්තය පළමු දිනය නිමා කළේ සාර්ථක පිතිහරඹයක යෙදෙමිනි.

එංගලන්ත කඩුලු රකින්නා වන ජොස් බට්ලර් සෙනසුරාදා කියා සිටියේ ටෙස්ට් පිටියේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ලකුණු නොමැතිකම සහ කණ්ඩායමේ තමාට හිමි ස්ථානය පිළිබඳ ඇති අස්ථාවර තත්ත්වය මහත් පීඩනයක් බවයි. සීමිත ඕවර තරගවලදී වඩාත් සාර්ථක පිතිකරුවකු වන බට්ලර් ඔහුගේ අවසන් ටෙස්ට් තරග හතේදී ලබාගෙන ඇත්තේ ලකුණු 18 ක් පමණි.

සරේ ප්‍රාන්ත පිල නියෝජනය කරන ඔලී පෝප් සිය මංගල ටෙස්ට් ශතකයට ආසන්න වෙමින් සිටි අතර දීර්ඝ කාලයක් ටෙස්ට් පිතිකරුවකු ලෙසින් අසාර්ථක වෙමින් සිටි ජොස් බට්ලර් අර්ධ ශතකයක් ලබා නොදැවී සිටියේය. එහෙත් කොදෙව් පන්දු යැවීම වෙනදාට වඩා වෙනස් ආකාරයක් ගෙන තිබිණ.

අද දිනයේ තරගය ආරම්භ කරමින් යැවූ දෙවැනි ඕවරයේ අවසන් පන්දුවේදී ඔලී පෝප් විසින් දෙන ලද පහසු උඩපන්දුවක් ස්ලිප්හි සිටි රකීම් කොන්වෝල් වෙතින් ගිළිහී ගියේය. මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ සිටින වැඩිම බරින් යුත් ක්‍රීඩකයා ලෙසින් අවිවාදයෙන් හැඳින්විය හැකි රකීම් කෝන්වෝල් ඊයේ ස්ලිප්හි සිට අති විශිෂ්ට උඩපන්දු රැකීමක නිරත වූ නමුත් අද ඔහුගෙන් ගිලිහී ගියේ පහසු උඩපන්දුවකි. මහත් උත්සාහයෙන් පන්දු යැවූ ෂැනන් ගේබ්‍රියෙල් කිසිවක් නොකියා විනිසුරුවරයාගෙන් සිය හිස්වැස්ම ගෙන යන්නට ගියේය.

කෙසේ වෙතත් ශතකය ආසන්නයේදී ලැබුණු අවස්ථාවෙන් ඔලී පෝප්ට ප්‍රයෝජන ගැනීමට ඉඩ නොතැබූ ගේබ්‍රියෙල් තමාගේ ඊළඟ ඕවරයේ පළමු පන්දුවේදීම ඔලී පෝප්ගේ පිට ඉන්න පෙරළා දැමූයේ එංගලන්ත ඉනිම දෙදරවා හරිමිනි.

ඔලී පෝප්ගේ දැවී යාමත් ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පැමිණීමත් අතර යැවුණු පන්දු 20 කදී තවත් එංගලන්ත පිතිකරුවෝ දෙදෙනෙක් ආපසු ක්‍රීඩාගාරයට ගියහ. එන පොට හොඳනැති බව වටහාගත් ස්ටුවර්ට් බ්‍රෝඩ් ඉතාමත් ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 45 කදී ලකුණු 62 ක් ලබාගත්තේ හතරේ පහර 9 ක් සහ හයේ පහරක්ද සිය ඉනිමට ඇතුළත් කරමිනි.

පන්දු 33 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ ස්ටුවර්ට් බ්‍රෝඩ් එංගලන්තය වෙනුවෙන් තුන්වැනි වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් පිතිකරුවා ලෙසින්ද වර්තා පොතට එක්විය. ඉයන් බොතම් (පන්දු 28 සහ පන්දු 32), ඇලන් ලෑම්බ් සහ ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් (පන්දු 33) එංගලන්තය වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් අර්ධ ශතක ලබාගත් පිතිකරුවෝ වෙති.

බ්‍රෝඩ්ගේ පිතිහරඹය හේතුවෙන් එංගලන්තය ලකුණු 350 සීමාව පසුකළ අතර ඔහු දැවී ගියේ ජර්මේන් බ්ලැක්වුඞ්ගේ දුර්වල පන්දුවකට ගැසූ පහරකින් මිඞ් විකට්හි සිටි රොස්ටන් චේස්ට ලැබුණු උඩපන්දුවකිනි.

මේ අතරවාරයේදී කොදෙව් පිල වෙනුවෙන් සිය 200 වැනි ටෙස්ට් කඩුල්ල දවාගැනීමට කෙමාර් රෝච් සමත්විය. කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් කඩුලු 200 ක් දවාගත් 9 වැනි ක්‍රීඩකයා වූ කෙමාර් රෝච් කොදෙව් වේග පන්දු යවන්නන් අතරේ සුවිශේෂී කණ්ඩායමක සාමාජිකත්වය ලබාගත්තේය.

කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් කඩුලු 200 ක් ලබාගත් පන්දු යවන්නන් වන්නේ කර්ට්නි වොල්ෂ් (519), ශ්‍රීමත් කර්ට්ලි ඇන්බ්‍රෝස් (405), මැල්කම් මාෂල් (376), ලාන්ස් ගිබ්ස් (309), ජොයෙල් ගානර් (259), මයිකල් හෝල්ඩිං (249), ශ්‍රීමත් ගාර්ෆීල්ඞ් සෝබර්ස් (235) සහ ශ්‍රීමත් ඇන්ඩි රොබට්ස් (202) පමණි.
 
එංගලන්තය - පළමු ඉනිම 369
(ජෝ බර්න්ස් 57, රෝ රූට් 17, බෙන් ස්ටෝක්ස් 20, ඔලී පෝප් 91, ජොස් බට්ලර් 67, ඩොමිනික් බෙස් නොදැවී 18, ස්ටුවර්ට් බ්‍රෝඩ් 62, ජේම්ස් ඇන්ඩසන් 11, කෙමර් රෝච් 72/4, ෂැනන්
ගේබ්‍රියෙල්77/2, රොස්ටන් චේස් 36/2)
 
බටහිර ඉන්දීය කොදෙව් පිල - පළමු ඉනිම කඩුලුු 6 කට 137 යි
(ජෝන් කැම්බල් 32, ෂායි හෝප් 17, ජර්මේන් බ්ලැක්වුඞ් 26, ජේසන් හෝල්ඩර් නොදැවී 24, ෂේන් ඩව්රිච් නොදැවී 10, ජේම්ස් ඇන්ඩසන් 17/2, ස්ටුවර්ට් බ්‍රෝඩ් 17/2) 
 
 

අදහස් (0)

ස්ටුවර්ට් බ්‍රෝඩ් එංගලන්තය ගොඩගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.