Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිගීස් අවසන් තරගයට

සිගීස් අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන දේශීය තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සිගීස් විශ්ව විද්‍යාල කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය.

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල කණ්ඩායමට එරෙහිව ලකුණු 113 ක ජයක් හිමිකර ගැනීමට සිගීස් විශ්ව විද්‍යාල කණ්ඩායමට හැකිවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සිගීස් විශ්ව විද්‍යාලය ඕවර 19.1 කදී සියලුදෙනා දැවී ලකුණු 143 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 14 කට කඩුලු 3 ක් දැවී තිබියදී සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 45 කදී ලකුණු 61 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩුලු වැටුණු ඉනිම ගොඩනැගීමට ලසිත් අබේරත්න සහ සහන් ආරච්චිගේ සමත්වූහ.

පන්දු 32 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 38 ක් රැස්කළ සහන් ආරච්චිගේ සිගීස් විශ්ව විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර ලසිත් අබේරත්න පන්දු 24 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 28 ක් රැස්කිරීමට සමත්විය.

පසුපෙල පිතිකරුවකුවූ දසුන් ආලෝක වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 12 කදී හයේ පහර 3 ක් සමගින් ලකුණු 26 ක් රැස්කරමින් සිගීස් විශ්ව විද්‍යාලයීය ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්විය.

අශේන් බණ්ඩාර කඩුලු 3 ක්ද සාරංග ප්‍රනාන්දු සහ සචින්ත ද සිල්වා කඩුලු 2 බැගින් දවාගනිමින් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හඹාගිය කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට ඕවර 10.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 30 ක් පමණි. එම ලකුණු 30 ක් ලකුණු 20 ක්ම අතිරේක ලකුණු වූ අතර පිතිකරුවන් හතදෙනෙකුම ලකුණු නොළඹා දැවීයාමද කැපී පෙනෙන සිද්දියක් විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ තීක්‍ෂිල ද සිල්වා ඕවර 2 ක් යවමින් ලකුණු 6 කට කඩුලු 4 ක් දවාගනිමින් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලීය පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්විය. උදිත් මදුශාන් සහ ශිරාන් ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

සිගීස් විශ්ව විද්‍යාල කණ්ඩායම සමගින් ව්‍යාපාර කළමනාකරණ පාසල් කණ්ඩායම හෙට (30 වැනිදා) අවසන් මහ තරගයේදී මුණගැසෙනු ඇත.


සිගීස් විශ්ව විද්‍යාලය - ඕවර 19.1 කදී සියලුදෙනා දැවී ලකුණු 143
(ලසිත් අබේරත්න 28, සහන් ආරච්චිගේ 38, දසුන් ආලෝක 26, අශේන් බණ්ඩාර 18/3, සාරංග ප්‍රනාන්දු 18/2, සචින්ත ද සිල්වා 22/2)

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය - ඕවර 10.2 කදී සියලුදෙනා දැවී ලකුණු 30
(තීක්‍ෂිල ද සිල්වා 06/4, උදිත් මදුශාන් 02/2, ශිරාන් ප්‍රනාන්දු 05/2)

 


අදහස් (0)

සිගීස් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.