Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශෙහාන් ජයසූරියගෙන් ශතකයක්

ශෙහාන් ජයසූරියගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශෙහාන් ජයසූරියගේ (142) විශිෂ්ට පිතිහරඹය හමුවේ සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අතර බංග්ලාදේශයේ ශිලාත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 312 ක් රැස්කිරීමට සමත්විය.

තරගයේ දෙවැනි දිනයවූ අද (11 වැනිදා) අයහපත් ආලෝක තත්වය හේතුවෙන් ක්‍රීඩාව අවසන් කරනවිට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 57 ක් රැස්කිරීමට සමත්විය. මේ වන විට කඩුලු 9 ක් අතැතිව සිටින බංග්ලාදේශ ‘ඒ’ පිල ශ්‍රී ලංකා ‘ඒ’ පිලට වඩා ලකුණු 88 ක් පසුපසින් සිටී.

සීමිත ඕවර තරගයකදී ක්‍රීඩාකරන ආකාරයට පිත්ත හැසිරවූ ශෙහාන් ජයසූරිය ලකුණු 142 ක් රැස්කර සිටියදී මුස්ටෆිසූර් රෙහ්මාන්ගේ පන්දුවක් හමුවේ ඛලීඞ් අහමඞ් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. දැවීයන විට පන්දු 155 කට මුහුණදී සිටි ශෙහාන් ජයසූරියගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 15 කින් අලංකාර විය.

මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වනවිට මැදපෙළ පිතිකරුවකුවූ සම්මු අශාන් සමගින් එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 118 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ලකුණු පුවරුව ඉහළ නැංවීමට සමත්විය. සුන්සමුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය සම්මු අශාන් අර්ධ ශතකයක් (60) ලබාගැනීමට සමත්විය. පන්දු 105 කට මුහුණදුන් සම්මු අශාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අවසන් කඩුලු 5 ලකුණු 72 ක් තුළ දවාගැනීමට බංග්ලාදේශ ‘ඒ’ දඟපන්දු යවන්නෝ සමත්වූහ. දඟපන්දු පන්දුවෙන් දස්කම් දැක්වූ සුන්සමුල් ඉස්ලාම් (කඩුලු 4), මුස්ටෆිසූර් රෙහ්මාන් (කඩුලු 3) සහ නයීම් හසන් (කඩුලු 2) අතර කඩුලු 9 ක් බෙදී ගිය අතර දකුණතින් වේගපන්දු යවන සෞම්‍ය සර්කාර්ට කඩුල්ලක් හිමිවිය.

සෞම්‍ය සර්කාර් ලකුණු 24 ක් සහ මිසනූර් රෙහ්මාන් ලකුණු 13 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති. හෙට (12) තරගයේ තෙවැනි දිනයයි.

 


අදහස් (0)

ශෙහාන් ජයසූරියගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.