Last Update  :  2024-04-22 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට විශාලතම ටෙස්ට් ජය
පළමු ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාවට විශාලතම ටෙස්ට් ජය

editorial - 2023 අප්‍රේ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

පරෙවි කූඩුවකට වන් බළල් තඩියන් දෙදෙනකු සේ අයර්ලන්ත පිතිකරුවන් එකා පසුපස එකා දඩයම් කළ ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් හමුවේ අයර්ලන්තය පිතිකරුවෝ අන්ද මන්දව ගියහ. ජයසූරියගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම (52/7) හමුවේ මුල් ඉනිමේදී ලකුණු 143 කට දැවී ගිය අයර්ලන්තය දෙවැනි ඉනිමේදීත් ලකුණු 168 කට දැවී ගිය බැවින් ගාල්ල ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) නිමා වූ තුන්වැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 280 ක දැවැන්ත ජයක් අත්කර ගත්තේය. 

එය වසර 41 ක් වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය ලෙසින් වාර්තා පොතට එක්විය. ශ්‍රී ලංකාවේ විශාලතම ටෙස්ට් ජයග්‍රහණය ලෙසින් මීට පෙර වාර්තා වූයේ වසර 2004 දී හරාරේ නුවරදී සිම්බාබ්වේ පිල ඉනිමකින් සහ ලකුණු 256 කින් පරාජය කිරීමයි. 

මේ අතරවාරයේදී පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ටෙස්ට් කඩුලු 50 කඩයිමට ළඟාවූ ක්‍රීඩකයා ලෙසින් ඩිල්රුවන් පෙරේරාගේ ටෙස්ට් තරග 11 වාර්තාව සම කළේය. රමේෂ් මෙන්ම ඩිල්රුවන් පෙරේරාත් සිය 50 වැනි ටෙස්ට් කඩුල්ල දවාගත්තේ ගාල්ල ක්‍රීඩාංගණයේදීය. 

රමේෂ් මෙන්ඩිස් අද තරගයේදී ඩිල්රුවන්ගේ වාර්තාව සමකළ නමුත් මේ වන විට ටෙස්ට් තරග 6 කට පමණක් ක්‍රීඩා කර ඇති ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් කඩුලු 43 ක් දවාගෙන, ඊළඟට වාර්තාව තමන් සතුකර ගැනීමේ අභිලාෂයෙන් සිටී. අයර්ලන්ත පිතිකරුවන් දණගැස්වූ වමතින් දඟ පන්දු යවන ජයසූරිය මෙම තරගයේ ඉනිම දෙකේදීම ලකුණු 108 කට කඩුලු 10 ක් දවාගත් අතර තරගයේ වීරයා සම්මානය ද දිනාගත්තේය. 

ලෝක ටෙස්ට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය වන්නේ 1938 දී එංගලන්තය විසින් ලන්ඩන් ඕවල් පිටියේදී ඉනිමකින් සහ ලකුණු 579 කින් ඕස්ටේ්‍රලියානුවන් පරාජය කිරීමයි. දෙවැනි විශාලතම ජයග්‍රහණය වූයේ වසර 2002 දී ඕස්ටේ්‍රලියානුවන් විසින් ජොහැන්නස්බර්ග් නුවරදී ඉනිමකින් සහ ලකුණු 360 කින් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කිරීමයි. 

දෙවැනි ඉනිමේ පස්වැනි කඩුල්ල බිඳ වැටෙන විටත් අයර්ලන්තය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 408 ක් පසුපසින් සිටි බැවින් ලෝක ටෙස්ට් ඉතිහාසයේ දෙවැනි විශාලතම ජයග්‍රහණය අත්පත් කරගැනීමේ අවස්ථාවත් ශ්‍රී ලංකාවට තිබිණ. එහෙත් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ හැරී ටෙක්ටර් (42) සහ කර්ටිස් කැම්පර් (30) එක්ව ලොව දෙවැනි විශාලතම ටෙස්ට් ජයග්‍රහණය අත්පත්කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි කර දැමූහ. එතැන් සිට දිමුත් ඇතුළු පිරිවරට තිබූ ඉලක්කය වූයේ ශ්‍රී ලංකාවේ විශාලතම ටෙස්ට් ජය සොයා යාමයි. 

මෙම තරගයේදී ෆෝවර්ඩ් ෂෝට් ලෙග් ස්ථානයේ පන්දු රකිමින්, නිෂාන් මධුෂ්ක රැකගත් උඩපන්දු තුනම අති විශිෂ්ට ගණයේ ඒවා විය. දෙවැනි ඉනිමේදී කර්ටිස් කැම්පර්ගේ හැසිරීම් රටාව දෙස විමසිල්ලෙන් බලා සිටි මධුෂ්ක, පන්දුව පිත්තේ වදින්නටත් පෙරම දකුණු පසට ඇදුණේ පිතිකරුවා ගැසීමට සූදානම් වන පහර කුමක්ද යන්න කල්තියාම හඳුනාගත් බැවිනි. කඩුලු රකින්නා වූ සධීර සමරවික්‍රමටවත් සිදුවූයේ කුමක්ද යන්න සිතාගැනීමට කාලයක් නොතබාම, මධුෂ්ක විසින් කැම්පර්ගේ උඩපන්දුව රැකගන්නා ලදි. 

ඊයේ සවස පිටියේ සිටි පිතිකරුවා වූ ලෝකන් ටකර් ලකුණු 143 දී දැවී යාමත් අයර්ලන්ත ඉනිමේ නිමාවත් අතර පැවැතියේ විනාඩි 07 කි. ඉනිමට එකම ලකුණක් හෝ එකතු නොකර, අවසන් පිතිකරුවෝ තිදෙනාම දැවී ගියහ. 

අයර්ලන්ත දෙවැනි ඉනිමේ ආරම්භයත් භයංකාර හීනයක් කළ විශ්ව ප්‍රනාන්දු, ඕවර 3 ක් ඇතුළතදී ආරම්භක පිතිකරුවාත්, නායකයාත් දෙදෙනාම පිටියෙන් ඉවත් කළේය. එතැන් සිට ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් දෙනො නැවතත් තරගයේ පාලනය අතට ගත්හ. අයර්ලන්ත පිතිකරුවන් වරින් වර විශාල පහර කරා යමින් තමන්ගේ පරාජයේ ලකුණු පරතරය අඩුකර ගත්හ. 

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 24 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදීම ආරම්භ වේ. 

ලකුණු පුවරුව
 
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 
නිශාන් මධුෂ්ක - ඇ.ටකර් ප.කැම්පර් 29
දිමුත් කරුණාරත්න  - ඇ.ටකර් ප.මාක් ඇඩෙයාර් 179
කුසල් මෙන්ඩිස් - ක.මු.කළා ප.ඩොක්රල් 140
ඇන්ජලෝ මැතිව්ස් - ඇ.ටකර් ප.වයිට් 0
දිනේෂ් චන්දිමාල් - නොදැවී 102
ප්‍රභාත් ජයසූරිය - ක.මු.කළා ප.කැම්පර් 16
ධනංජය ද සිල්වා - ක.මු.කළා ප.මැක්බ්‍රයින් 12
සධීර සමරවික්‍රම - නොදැවී 104
අතිරේක 9
එකතුව - ඕවර 131 කදී කඩුලු 6 ක් දැවී 591
කඩුලු වැටීම : 
1-64(මධුෂ්ක), 2-345(කුසල් මෙන්ඩිස්), 3-348(මැතිව්ස්), 4-373(කරුණාරත්න), 5-390(ජයසූරිය), 6-408(ධනංජය)
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ : 
රමේෂ් මෙන්ඩිස්, විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු
පන්දු යැවීම : 
මාක් ඇඩෙයාර් 24.3-3-95-1
කර්ටිස් කැම්පර් 21-2-84-2
ඇන්ඩි මැක්බ්‍රයින් 40-2-162-1
බෙන් වයිට් 22-0-119-1
ජෝර්ඩ් ඩොක්රල් 21.3-0-112-1
හැරී ටෙක්ටර් 2-0-12-0
 
අයර්ලන්තය - පළමු ඉනිම 
ජේම්ස් මැකලම් - ප.ජයසූරිය 35
මරේ කෙමින්ස් - ප.විශ්ව ප්‍රනාන්දු 0
ඇන්ඩි බැල්බර්නි - ඇ.මධුෂ්ක ප.විශ්ව ප්‍රනාන්දු 4
හැරී ටෙක්ටර් - ඇ.ධනංජය ප.ජයසූරිය 34
කර්ටිස් කැම්පර් - ඇ.රමේෂ් මෙන්ඩිස් 0
පීටර් මුවර් - ඇ.සමරවික්‍රම ප.ජයසූරිය 14
ලෝකන් ටකර් - ක.මු.කළා ප.ජයසූරිය 45
ජෝර්ජ් ඩොක්රල් - ක.මු.කළා ප.ජයසූරිය 2
ඇන්ඩි මැක්බ්‍රයින් - ක.මු.කළා ප.රමේෂ් මෙන්ඩිස් 7
මාක් ඇඩෙයාර් - ස්ට.සමරවික්‍රම ප.ජයසූරිය 0
බෙන් වයිට් - නොදැවී 0
අතිරේක 2
එකතුව - ඕවර 52.3 කදී සියලු දෙනා දැවී 143
කඩුලු වැටීම : 
1-00(කමින්ස්), 2-04(බැල්බර්නි), 3-74(ටෙක්ටර්), 4-74(කැම්පර්), 5-85(මැකලම්), 6-92(මුවර්), 7-108(ඩොක්රල්), 8-143(ටකර්), 9-143(ඇඩෙයාර්), 10-143(මැක්බ්‍රයින්)
පන්දු යැවීම : 
අසිත ප්‍රනාන්දු 5-2-09-0
විශ්ව ප්‍රනාන්දු 9-2-38-2
ප්‍රභාත් ජයසූරිය 23-10-52-7
රමේෂ් මෙන්ඩිස් 14.3-3-40-1
ධනංජය ද සිල්වා 1-0-04-0
 
අයර්ලන්තය - දෙවැනි ඉනිම  
ජේම්ස් මැකලම් - ඇ.ධනංජය ප.ජයසූරිය 8
මරේ කොමින්ස්  - ඇ.රමේෂ් මෙන්ඩිස් ප.විශ්ව ප්‍රනාන්දු 0
ඇන්ඩි බැල්බර්නි - ඇ.ධනංජය ප.විශ්ව ප්‍රනාන්දු 6
හැරී ටෙක්ටර්  - දුවද්දී දැවී ගියා 42
ලෝකන් ටකර් - ක.මු.කළා ප.ජයසූරිය 6
පීටර් මුවර් - මධුෂ්ක ප.රමේෂ් මෙන්ඩිස් 0
කර්ටිස් කැම්පර් - ඇ.මධුෂ්ක ප.රමේෂ් මෙන්ඩිස් 30
ජෝර්ජ් ඩොක්රල් - ක.මු.කළා ප.රමේෂ් මෙන්ඩිස් 32
ඇන්ඩි මැක්බ්‍රයින් - ඇ.කුසල් ප.රමේෂ් මෙන්ඩිස් 10
මාක් ඇඩෙයාර් - නොදැවී 23
බෙන් වයිට් - ක.මු.කළා ප.ජයසූරිය 1
අතිරේක 10
එකතුව - ඕවර 54.1 කදී සියලු දෙනා දැවී 168
කඩුලු වැටීම : 
1-00(මරේ), 2-08(බැල්බර්නි), 3-24(මැකලම්), 4-32(ටකර්), 5-40(මුවර්), 6-100(කැම්පර්), 7-108(ටෙක්ටර්), 8-131(මැක්බ්‍රයින්), 9-167(ඩොක්රල්), 10-168(වයිට්)
පන්දු යැවීම : 
ප්‍රභාත් ජයසූරිය 24.1-6-56-3
විශ්ව ප්‍රනාන්දු 4-2-03-2
රමේෂ් මෙන්ඩිස් 20-1-76-4
අසිත ප්‍රනාන්දු 3-0-15-0
ධනංජය ද සිල්වා 3-0-10-0
 
තරගයේ වීරයා - ප්‍රභාත් ජයසූරිය
 

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට විශාලතම ටෙස්ට් ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.