සංචාරක ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) ආරම්භවූ පළමු නිල නොවන ටෙස්ට් තරගයේදී සිය පළමු ඉනිම සඳහා ලකුණු 244 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සමත්විය.
මුල් පෙළ සහ මැද පෙළ පිතිකරුවන් සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 200 සීමාව දක්වා කණ්ඩායම රැගෙන පැමිණියද පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පළමු ඉනිම ලකුණු 244 කට සීමාවිය. එක් අවස්ථාවක කඩුලු 4 කට ලකුණු 206 ක් රැස්කරමින් ප්‍රබල ස්ථානයක සිටි ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ අවසන් කඩුලු 6 ලකුණු 38 ක් තුළ දවාගැනීමට ඉන්දීය වයස 19 න් පහළ පන්දු යවන්නෝ සමත්වූහ.
අර්ධ ශතකයක් (69) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ පසිඳු සූරියබණ්ඩාර ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. පන්දු 134 කට මුහුණදුන් පසිඳුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට නිශාන් ප්‍රනාන්දු සහ නායක නිපුන් ධනංජය සමත්වූ අතර පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 78 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමීමට සඳුන් මෙන්ඩිස් සහ පසිඳු සූරියබණ්ඩාර සමත්වූහ.
වමතින් දඟපන්දු යවන හර්ෂ් ත්‍යාගී ලකුණු 92 කට කඩුලු 4 ක් සහ පිට දඟ පන්දු යවන අයුෂ් බදෝනී ලකුණු 24 කට කඩුලු 4 ක් දවාගනිමින් පිටිය පුරා සිය අණසක පැතිරවීමට සමත්වූහ.
පළමු දිනට ක්‍රීඩාව අවසන් කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුල්ලක් දැවී ලකුණු 92 ක් රැස්කරමින් ඉතා ප්‍රබල මට්ටමක පසුවිය.
තවත් කඩුලු 9 ක් අතැති ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 152 ක් පසුපසින් මේ වනවිට රැඳී සිටින්නේය.
වේගවත් ආරම්භයක් ලබාගත් නායක අනුජ් රාවත් අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර කල්හාර සේනාරත්නගේ පන්දුවක් හමුවේ නිශාන් ප්‍රනාන්දු අතට උඩපන්දුවක් දෙමින් ඔහු ලකුණු 63 කට දැවී ගියේය. පන්දු 59 කට මුහුණදුන් අනුජ් රාවත්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.
ලකුණු 26 ක් ලබාගත් අතර්වා ටයිඬේ නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර තරගයේ දෙවැනි දිනයවූ හෙට (18 වැනිදා) පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසීමට නියමිතව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.