Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශය පරදවති

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශය පරදවති

යොහාන් භාසුර - 2019 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (26) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 91 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 315 ක දැවැන්ත ඉලක්කය හඹාගිය බංග්ලාදේශ පිල ඕවර 41.4 කදී ලකුණු 223 කට සීමා කළහ.

මෙම තරගයේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ලසිත් මාලිංග, බංග්ලාදේශ ඉනිමේ 10 වැනි කඩුල්ලත් සමගින් ලකුණු 38 කට කඩුලු තුනක් දවාගත්තේය.

මාලිංග පන්දු යැවීමට ක්‍රීඩාංගණයට පැමිණෙන දෙපස සෙසු ක්‍රීඩකයෝ ආචාර දැක්වූහ. එම අවස්ථාවේදී බැලුම් ගුවන්ගත කිරීමෙන් ක්‍රීඩාංගණයට ඉහළ අහස වර්ණවත් විය. ඔහු පන්දුවට පහර දුන් අවස්ථාවේදී ප්‍රේක්‍ෂකයෝ ඔහුගේ නම කියමින් දිරිගැන්වූහ.

මුෂ්ෆිකුර් රහීම් අන්තයක් ආරක්‍ෂාකරගනිමින් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළේය. රහීම් පන්දු 86 කින් හතරේ පහර පහක් සමගින් ලකුණු 67 ක් රැස් කිරීමට සමත් විය.

මුෂ්ෆිකුර් රහීම් සහ ශබීර් රහමන් (60) පස්වැනි කඩුල්ලට පන්දු 99 කින් ලකුණු 111 ක සම්බන්ධතාවක් පවත්වමින් ශක්තිමත් තැනකට රැගෙන ආවද සෙසු පිතිකරුවෝ එය පවත්වාගෙන යෑමට අපොහොසත් වූහ.   
වසරකට ආසන්න කාලයකට පසුව නැවතත් කණ්ඩායමට පැමිණි ළහිරු කුමාර පස්වැනි පන්දුවේදී ප්‍රවේගකාරී පිතිකරු මහුමුදුල්ලා දවාගැනීමට සමත් විය.

ලසිත් මාලිංග ඉනිමේ පස්වැනි පන්දුවේදීම සුපිරි යෝකර් පන්දුවකින් තමීම් ඉක්බාල්ගේ ඉනිම අවසන් කළ අතර තමීම එම පන්දුව හමුවේ බිම ඇඳ වැටුණි. මාලිංග නැවතත් ක්‍රියාත්මක වෙමින් සෞම්‍ය සාකර් දවාගනිමින් ලකුණු 30 ට කඩුලු තුනක් බවට පත්කළේය.  

කුසල් පෙරේරා අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 111 ක් රැස්කිරීමට සමත් විය. මෙය කුසල්ගේ පස්වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වේ.

මෙය ශ්‍රී ලංකා පිතිකරුවකු එක්දින තරගයකදී ශ්‍රී ලංකාවේදී වසර දෙකකට පසුව රැස්කළ ශතකය වීම කැපී පෙනේ. නිරෝෂන් දික්වැල්ල අවසන් ශතකය 2017 වසරේ ජූලි මස සිම්බාබ්වේට එරෙහිව සූරියවැවදී රැස්කර තිබුණි.

මෙය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවකු වසර පහකට පසුව රැස්කළ ශතකය ද වේ. තිලකරත්න ඩිල්ෂාන් 2014 වසරේ දෙසැම්බර් මස එංගලන්තයට එරෙහිව රැස්කළ ලකුණු 101 ක් පසුව මේ දක්වා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවකු ශතකයක් රැස්කර නොතිබුණි.      

කුසල්ගේ පන්දු 99 ක ඉනිමට හතරේ පහර 17 ක් සහ හයේ පහරක් ඇතුළත් විය. කුසල් අර්ධ ශතකය පන්දු 38 කින් සම්පූර්ණ කළ අතර ශතකය පන්දු 82 කදී වාර්තා විය.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 52 කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 48 ක් රැස්කළේය.  

කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් (43) තෙවැනි කඩුල්ලට ලකුණු 100 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

කුසල් මෙන්ඩිස් ලකුණු 28 ක් ලබා සිටියදී සෞම්‍ය සාකර්ගේ පන්දුවකට ලෝන්ඕන් ස්ථානයට ලබාදුන් උඩ පන්දුව මහුමුදුල්ලා වෙතින් ගිලිහී යෑම බංග්ලාදේශයට දැඩි පාඩුවක් බවට පත්විය.  

නායක දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා දෙවැනි කඩුල්ලට පන්දු 72 කින් ලකුණු 97 ක සම්බන්ධතාවක් පවත්වමින් බංග්ලාදේශ පන්දු යවන්නන්ට පීඩනයක් යොමු කළහ.

දිමුත් පන්දු 37 කින් හතරේ පහර හතරක් සමගින් ලකුණු 36 ක් ලබා දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

කුසල් පෙරේරා ලකුණු 39 ක් ලබා සිටියදී ශෆියුල් ස්ලාම්ගේ පන්දුවකට කඩුලු රකින මුෂ්ෆිකුර් රහීම් උඩ පන්දුවක් රැකගත් බවට ප්‍රධාන විනිසුරු තීරණය කළ ද, විනිසුරු තීරණ නැවත විමසීමේදී  පන්දුව පිත්තේ නොවැදුණු බව සනාථ විය.

වමත් සහ දකුණත් සංයෝජනයක අවශ්‍යතාව නිසා මෙම තරගයේදී ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 13 කින් ලකුණු හතක් ලබා පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ අවසන් තරගයට සහභාගි වූ කණ්ඩායමේ කසුන් රාජිතට සහ ඉසුරු උදානට මෙම තරගයේදී ස්ථානය අහිමිවූහ. නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර කණ්ඩායමට කැඳවා සිටියහ.
ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
මෙම තරගාවලියේ දෙවැනි තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අනිද්දා (28) පැවැත්වේ.   

ඡායාරූප - ශාන්ත රත්නායක

 


අදහස් (1)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බංග්ලාදේශය පරදවති
  • Demuni de silva Friday, 26 July 2019 09:51 PM

    ශ්‍රී ලංකා පිළට සුභ පැතුම් !

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.