ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්රිකට් තරගාවලියේ අද (6 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී ශ්රී ලංකාවට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන ක්රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගය කුවාලාලාම්පූර් නුවරදී පැවැත්විණ.
මෙම තරගයෙන් පරාජයට පත්වුවද, තවදුරටත් තරගාවලියේ ප්රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටීමට ශ්රී ලංකාවට හැකි වී තිබේ. ඉන්දියාව එහි පෙරමුණේ පසුවන අතර පාකිස්ථානයට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.
පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේ ජයග්රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 113 ක් පමණි. යසෝදා මෙන්ඩිස් (25) සහ නිපුනි හංසිකා (24) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගුවද, සෙසු පිතිකාරිණියන් අසාර්ථක වීම නිසා ශ්රී ලංකා කණ්ඩායමට ජයග්රහණය කරා යෑමට නොහැකි විය.
එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිතර වූ පිට දඟ පන්දුයවන ක්රීඩිකා නිඩා ඩාර්, සිය ඕවර 4 ලකුණු 21 කට සීමා කරමින් කඩුලු 5 ක් දවාගත්තේ ශ්රී ලංකා කණ්ඩායමේ ජයග්රාහී මාවත අවහිර කරමිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිසතාන කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 136 ක් ලබාගත් අතර එහිදී නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ බිස්මා මරූෆ් පන්දු 41 කදී නොදැවී ලකුණු 60 ක් රැස්කළේ හතරේ පහර 7 ක් සමගිනි. ආරම්භක පිතිකාරිණී නයිඩා ඛාන් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 38 ක් රැස්කළාය.
ශ්රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නිය බවට පත්වූ සුගන්දිකා කුමාරි ලකුණු 18 කට කඩුලු 2 ක් දවාගත්තාය. ඇගේ පන්දුවක් හමුවේ නායිකා ශෂිකලා සිරිවර්ධන අතට උඩපන්දුවක් දෙමින් මුනීබා අලී ලකුණු 5 කට දැවී ගිය අතර නිඩා ඩාර් ලකුණු 3 කට දැවී ගියේ සුගන්දිකාගේ පන්දුවක් කඩුල්ලේ දැවටීම හේතුවෙනි.
පාකිස්තාන කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 136
(නයිඩා ඛාන් 38, බිස්මා මරූෆ් නොදැවී 60, සුගන්දිකා කුමාරි 18/2)
ශ්රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 113
(යසෝදා මෙන්ඩිස් 25, නිපුනි හංසිකා 24, ශෂිකලා සිරිවර්ධන 13, නිඩා ඩාර් 21/5)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.