Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ඔක්තෝබරයේදී පැවැත්වීමට සාකච්ඡා

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ඔක්තෝබරයේදී පැවැත්වීමට සාකච්ඡා

දමින්ද විජේසූරිය - 2020 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වසරකින් කල්දැමීමෙන් පසු විවර වන ඔක්තෝබර් - නොවැම්බර් වකවානුවේදී ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ ක්‍රිකට් බලධාරීහු සාකච්ඡා කරමින් සිටිති.

ලෝක ටෙස්ට් ශූරතාවලියටද ඇතුළත් මෙම තරගාවලිය කලින් සැලසුම් කර තිබුණේ ජූලි-අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමටය. එහෙත් කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දැමීමට දෙරටේම ක්‍රිකට් බලධාරීන්ට සිදුවිය.

ඔක්තෝබර් 18 වනදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලානය තරගාවලිය කල්දැමීමේ හේතුවත් කොරෝනා වසංගතයම වූවත්, කණ්ඩායම් 16 ක් සහභාගි වන ලෝක කුසලාන තරගාවලියකට වඩා ද්විපාර්ශ්වික තරගාවලියක් පැවැත්වීම වඩාත් ආරක්ෂිත මෙන්ම ප්‍රායෝගික විසඳුමකි. විස්ඩන් කුසලාන වෙනුවෙන් එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගාවලිය මේ වන විට ඉතාමත් සාර්ථක ලෙසින් පැවත්වෙමින් තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මීළඟ ලෝක කුසලාන තරගාවලි පැවැත්වෙන වර්ෂ නිවේදනය කිරීමත් සමගම ලෝකයේ බොහෝ රටවලට තම තමන්ගේ ක්‍රිකට් කාලසටහන සකස්කරගැනීමට එය මනා පිටිවහලක් විය. එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට සූදානම් වන ඉන්දියාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අයි.පී.එල්. තරගාවලිය පැවැත්වීමට දැනටමත් පිඹුරු පත් සකස් කරමින් තිබේ.

“ප්‍රධාන තරඟාවලි තුන පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිවේදනය නිසා අපට වැඩ කළ හැකි කවුළුවක් ලැබී තිබෙනවා. ලෝක කුසලාන තරඟාවලියේ දින නියම කර ඇති බව අප දන්නා බැවින් අපගේ කාලසටහනට අනුව කටයුතු කළ හැකියි” යයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී නිසාමුදීන් චෞද්රි මහතා අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවාවන්ට පවසා තිබිණ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ දෙරට අතර ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින නමුත් ඒ සම්බන්ධයෙන් දින නියම කරගෙන නැති බවයි.

“ලෝක කුසලාන තරගාවලිය කල්දැමීම නිසා ලැබුණු අවස්ථාවෙන් අපිත් ප්‍රයෝජනයක් ගන්න ඕනා. අපේ ක්‍රීඩකයන් වුණත් පුහුණුවීම් කරන්නේ කිසිම ඉලක්කයක් නැතිවයි. ඒත් ඉලක්කයක් තියෙනවා නම් ඒ පුහුණුවීම් වලින් වැඩි ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන්“

“බංග්ලාදේශ ක්‍රීඩකයන්ටත් මාස හතරකින් පුහුණුවීම් කරන්න බැරිවෙලා තියෙනවා. ඒත් ටෙස්ට් තරගාවලිය සඳහා ඔවුන් ශ්‍රී ලංකාවට එනවා නම්, කල් ඇතිව ඇවිල්ලා නිසි නිරෝධායන ක්‍රියාවලියකට මුහුණ දෙන්නත්, ඉන් පස්සේ ක්‍රීඩකයන්ට පුහුණුවීම් කිරීම සඳහා ජෛව ආරක්ෂණ පද්ධතියක් සකස් කරලා දෙන්නත් අපට පුළුවන්...... අපි දැන් ඒ ගැන සාකච්ඡා කරමින් යනවා“ යයි ද එම නිලධාරියා පැවසීය.

කෙසේ වෙතත් සිය අනන්‍යතාව හෙළිදරව් කිරීමට අකමැති වූ මෙම නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේ තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ පූර්ණ අනුමැතිය අවශ්‍ය බවයි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව අඩු මට්ටමක තබා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව දකුණු ආසියාවේදී ආරම්භ කෙරෙන පළමු ස්ථානය විය හැකිය.

"කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය ගැන සලකා බැලීමේදී ශ්‍රී ලංකාව මේ වන විට වෙනත් ඕනෑම දකුණු ආසියානු රටකට වඩා හොඳ තත්ත්වයේ තියෙනවා. මෙහි (බංග්ලාදේශයේ) තත්වය වාසිදායක නොවන නිසා අපි බංග්ලාදේශයෙන් බැහැර තරඟ සඳහා වැඩි කැමැත්තක් දක්වනවා" යැයි නිසාමුදීන් චෞද්රි මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබිණ.

විස්ඩන් කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ නරඹන්නන්ගේ සහභාගිත්වයක් නොමැතිව බැවින් ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගාවලියද නරඹන්නන් නැතිව පැවැත්වීමේ වැඩි අවකාශයක් ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ පුහුණුවීම් මේ මස මුල් සතියේදී ආරම්භ වූ අතර කොළඹදී සහ පල්ලෙකැළේදී පුහුණුවීම් සැසි දෙකක් සාර්ථකව අවසන් කෙරිණ. ජාතික සංචිතයේ ක්‍රීඩකයෝ 40 දෙනෙක් මේ වන විට කණ්ඩායම් 4 කට බෙදී පුහුණුවීම් කරමින් සිටිති.

 


අදහස් (0)

ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ඔක්තෝබරයේදී පැවැත්වීමට සාකච්ඡා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.