Last Update  :  2025-07-27 21:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝක කුසලාන අහිමි වේදනාවට පොදුරද මඩුලු තරග සහනයක්
කාන්තා කි‍්‍රකට්

ලෝක කුසලාන අහිමි වේදනාවට පොදුරද මඩුලු තරග සහනයක්

editorial - 2022 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමිවූ ශ්‍රී ලංකා කණ්ඩායම, හෙට (18 වැනිදා) මැලේසියාවේදී ආරම්භවන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා සහභාගී වීමට හොඳ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවාය. 

”ලෝක කුසලාන තරගාවලියට අමතරව මේ වසරේදී පැවැත්වෙන තවත් ප‍්‍රධාන තරගාවලියක් තමයි පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල කියන්නෙ. ලෝක කුසලාන වරම් අහිමිවීමේ වේදනාව අපිට තදින්ම දැනෙනවා. ඒත් පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට සහභාගි වීම තුළින් ඒ වේදනාව යම් තරමකට හරි සමනය වේවි කියලා අපි හිතනවා.” යැයි චමරි කියා සිටියාය. 

”අපිට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජයගෙන පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට සහභාගි වෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. අත්දැකීම් බහුල කී‍්‍රඩිකාවන් වගේම හර්ෂිතා මාධවී සහ කවීෂා දිල්හාරි වගේ දක්ෂ තරුණ කී‍්‍රඩිකාවන්ද අපේ කණ්ඩායමේ ඉන්නවා. ඒ නිසා හැකි උපරිමයෙන් කී‍්‍රඩා කරලා තරග 4 ම ජයගන්න අපි බලාපොරොත්තු වෙනවා.” යැයිද එහිදී ශ්‍රී ලංකා නායිකාව වැඩි දුරටත් කියා සිටියාය. 

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන පළමු තරගය හෙට ස්කොට්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7.00 ට ආරම්භ වේ. දෙවැනි තරගය කෙන්යාවට එරෙහිව 20 වැනිදාද, තෙවැනි තරගය මැලේසියාවට එරෙහිව 22 වැනිදාද, සිවුවැනි තරගය බංග්ලාදේශයට එරෙහිව 24 වැනිදාද පැවැත්වීමට නියමිතය.

පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීමේ විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, කෙන්යාව, ස්කොට්ලන්තය සහ මැලේසියාව යන රටවල් පහේ සහභාගීත්වයෙන් මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර කින්රාරා  ඕවල් කී‍්‍රඩාංගණයේදී හෙට සිට 24 වැනිදා දක්වා ලීග් ක‍්‍රමය අනුව පැවැත්වේ. 

එහිදී සෑම කණ්ඩායමක්ම තරග 4 කට බැගින් කී‍්‍රඩා කිරීමට නියමිත අතර තරගාවලිය අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම 8 වැනි කණ්ඩායම ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ විස්සයි-20 කාන්තා කි‍්‍රකට් ඉසව්ව සඳහා සුදුසුකම් ලබනු ඇත. මේ වන විටත් සත්කාරක එංගලන්තය සමගින් කාන්තා කි‍්‍රකට් කණ්ඩායම් 7 ක් එම ඉසව්ව සඳහා සුදුසුකම් ලබා සිටියි. 

කාන්තා කි‍්‍රකට් ශේ‍්‍රණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 7 ක් ඒ සඳහා ඍජුවම සුදුසුකම් ලබා ඇත. බටහිර ඉන්දීය කොදෙව්වන් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී එක් කණ්ඩායමක් ලෙස කී‍්‍රඩා කළද පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේදී වෙනවෙනම රටවල් ලෙස කී‍්‍රඩා කරන බැවින් ඔවුන්ගේ නියෝජිතයා ලෙස බාර්බඩෝස් කණ්ඩායම මෙවර පොදුරද මඩුලූ තරගාවලිය සඳහා නම් කර ඇත.  

ඕස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව, ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබා සිටින සෙසු රටවල් 5 වෙති. එහිදී  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, පාකිස්තානය සහ බාර්බඩෝස් රාජ්‍යය ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදියි. එංගලන්තය, දකුණු අපි‍්‍රකාව, නවසීලන්තය සහ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජය ගන්නා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතය. 

පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට කාන්තා කි‍්‍රකට් ඉසව්ව ඇතුළත්වන පළමු අවස්ථාව මෙය වන අතර කි‍්‍රකට් කී‍්‍රඩාව ඊට ඇතුළත්වන දෙවැනි අවස්ථාවද මෙය වේ. මින් පෙර 1998 වසරේදී මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට පිරිමි කි‍්‍රකට් ඉසව්ව ඇතුළත් වී තිබිණ. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වේ. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන තරග

  • ජනවාරි 18 වැනිදා - ස්කොට්ලන්යට එරෙහිව 
  • ජනවාරි 20 වැනිදා - කෙන්යාවට එරෙහිව 
  • ජනවාරි 22 වැනිදා - මැලේසියාවට එරෙහිව 
  • ජනවාරි 24 වැනිදා - බංග්ලාදේශයට එරෙහිව 

අදහස් (0)

ලෝක කුසලාන අහිමි වේදනාවට පොදුරද මඩුලු තරග සහනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.