Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලොකුහෙට්ටිගේත් දූෂිතයන්ගේ ලයිස්තුවට

ලොකුහෙට්ටිගේත් දූෂිතයන්ගේ ලයිස්තුවට

editorial - 2021 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන දිල්හාර ලොකුහෙට්ටිගේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන විනය පද්ධතියේ වගන්ති තුනකට අනුව වරදකරු වී ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ වැළැක්වීමේ විනිශ්චය සභාව කියයි.

දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙම චෝදනා ගොනුකරන ලද්දේ 2019 මාර්තු මාසයේදීය. එයින් මාස පහකට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්ද තරග පාවාදීම සම්බන්ධයෙන් ලොකුහෙට්ටිගේට චෝදනා කළේය. එම චෝදනාවල ප්‍රතිඵලයක් ලෙසින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලොකුහෙට්ටිගේට තාවකාලික තරග තහනමක් පනවන ලදි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින අන්තර්ජාතික තරග 9 කට සහ විස්සයි-20 තරග 2 කට ක්‍රීඩා කර ඇති දිල්හාර ලොකුහෙට්ටිගේ වේග පන්දු යවන්නකු මෙන්ම වේගයෙන් ලකුණු ලබාගත හැකි පිතිකරුවෙකි. එහෙත් ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2013 දී ඉන්දියාවට එරෙහිවය.

ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් වැරදිකරුවා වූ සිව්වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා දිල්හාර ලොකුහෙට්ටිගේය. ඔහුට පෙර ජයනන්ද වර්ණවීර, නුවන් සොයිසා සහ සනත් ජයසූරිය ක්‍රිකට් දූෂණ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවෝ වූහ.

සනත් ජයසූරියගේ වසර දෙකක ක්‍රිකට් තහනම මේ වන විට ගෙවී අවසන් වී ඇතත්, නුවන් සොයිසා සහ ජයනන්ද වර්ණවීර තවමත් තහනමට ලක්ව සිටිති.

 

දිල්හාර ලොකුහෙට්ටිගේ වරදකරු වීමට අදාළ වගන්ති

■    2.1.1 වන වගන්තිය
තරඟයක ප්‍රතිඵලය, ප්‍රගතිය, පැවැත්ම හෝ වෙනත් අංශ නුසුදුසු ලෙස වෙනස් කිරීමට හෝ සැලසුම් කිරීමට නැතහොත් වෙනත් ආකාරයකින් බලපෑම් කිරීම සඳහා ගිවිසුමකට හෝ උත්සාහයකට සම්මාදම් වීම.

■    2.1.4 වගන්තිය
2.1. වගන්තිය උල්ලංඝණය කිරීම සඳහා ඕනෑම ක්‍රීඩකයකුගෙන් සෘජුව හෝ වක්‍රව ඉල්ලීම, පෙළඹවීම, පොළඹවාගැනීම, උපදෙස් දීම, ඒත්තු ගැන්වීම, දිරිගැන්වීම හෝ හිතාමතාම පහසුකම් සැපයීම.

■    2.4.4 වන වගන්තිය
දූෂණ මර්ධන විනය නීති පද්ධතියට පටහැණිව, දූෂිත කටයුතු වල යෙදීමට ලැබුණු ඕනෑම ප්‍රවේශයක් හෝ ආරාධනා පිළිබඳ සම්පූර්ණ තොරතුරු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය වෙත හෙළි කිරීමට අපොහොසත් වීම.

 

- 213


අදහස් (0)

ලොකුහෙට්ටිගේත් දූෂිතයන්ගේ ලයිස්තුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.