Last Update  :  2025-08-14 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජස්ථාන් - පන්ජාබ් කණ්ඩායම් තරගාවලියෙන් ඉවතට

රාජස්ථාන් - පන්ජාබ් කණ්ඩායම් තරගාවලියෙන් ඉවතට

editorial - 2020 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
තීරණාත්මක තරග දෙකකදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හමුවේ පරාජය වීම හේතුවෙන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමටත්, කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම හමුවේ පරාජය වීම හේතුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමටත් අවසන් වටයට සුදුසුකම් නොලබාම මෙවර අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

පන්ජාබ් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු රඳවාගැනීම සඳහා චෙන්නායි කණ්ඩායමට එරෙහිව ඉරිදා අබුඩාබිහිදී පැවැති තරගය ජයගැනීම අනිවාර්ය විය. එහෙත් ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 154, එක් කඩුල්ලක් පමණක් දැවී පන්දු 7 ක් ඉතිරිව තිබියදී සපුරාගැනීමට චෙන්නායි පිතිකරුවෝ සමත්වීමත් සමග පන්ජාබ් කණ්ඩායමේ බලාපොරොත්තු සුන්විය.

එහිදී පිට පිටම සිය තෙවැනි අර්ධ ශතකය ලබාගත් ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 62 ක් රැස්කරමින් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණයට මඟ පෑදුවේය. ෆ‍ෆ් ඩුප්ලෙසී (48) සමග ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 59 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ගයික්වාඩ්, ඉන් නොනැවතී අම්බටි රයියදු (නොදැවී 30) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 72 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිතර වූ දීපක් හූඩා පන්දු 30 කදී නොදැවී ලකුණු 62 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලුංගි න්ගිඩි ලකුණු 39 කට කඩුලු 3 ක් බිඳහෙළුවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ලොකේෂ් රාහුල්ගේ (29) සහ මායන්ක් අගර්වාල්ගේ (26) කඩුලු 2 ද සමගිනි.

රාජස්ථාන් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තු රඳවාගැනීම සඳහා කොල්කටා කණ්ඩායමට එරෙහිව ඉරිදා ඩුබායිහිදී පැවැති තරගය ජයගැනීම අනිවාර්ය විය. එහෙත් ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඔාගිය රාජස්ථාන් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 131 ක් පමණක් වීම නිසා අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවසන් අවස්ථාවද ඔවුන්ගෙන් ගිළිහී ගියේය.

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පැට් කමින්ස්, සිය ඕවර 4 ලකුණු 34 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත්තේ ප්‍රතිවාදී කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවකු වන බෙන් ස්ටෝක්ස්ගේ (18) සහ නායක ස්ටීවන් ස්මිත්ගේ (4) කඩුලුද සමගිනි. රාජස්ථාන් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා කමින්ස්ට අනගි සහායක් දුන් ශිවම් මාවි සහ වරුන් චක්‍රවර්ති කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ පිතිහරඹයක නිතර වූ ඔයින් මෝගන් පන්දු 35 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 68 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 24 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 36 ක්ද, රාහුල් ත්‍රිපාති පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 39 ක්ද රැස්කරමින් කොල්කටා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

චෙන්නායි පිලට කඩුලු 9 ක ජයක්
කිංග්ස් XI පන්ජාබ් - ඕවර 20 කදී කඩුලු 6 කට 153
(ලොකේෂ් රාහුල් 29, මායන්ක් අගර්වාල් 26, මන්දීප් සිං 14, දීපක් හූඩා නොදැවී 62, ලුංගි න්ගිඩි 39/3)

චෙන්නායි සුපර්කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුල්කට 154
(රුතුරාජ් ගයික්වාඩ් නොදැවී 62, ෆෆ් ඩුප්ලෙසි 48, අම්බටි රයියදු නොදැවී 30)
 

කොල්කටා පිලට ලකුණු 60 ක ජයක්
කොල්කටා නයිට්රයිඩර්ස් - ඕවර 20 කදී කඩුලු 7 කට 191
(ශුබ්මන් ගිල් 36, රාහුල් ත්‍රිපාති 39, ඔයින් මෝගන් නොදැවී 68, ඔන්ඩ්‍රි රසල් 25, පැට් කමින්ස් 15, රාහුල් තේවතියා 25/3, කාර්තික් ත්‍යාගි 36/2)

රාජස්ථාන් රෝයල්ස් - ඕවර 20 කදී කඩුලු 9 කට 131
(බෙන් ස්ටෝක්ස් 18, ජොස් බට්ලර් 35, රාහුල් තේවතියා 31, ශ්‍රෙයාස් ගෝපාල් නොදැවී 23, පැට් කමින්ස් 34/4, ශිවම් මාවි 15/2, වරුන් චක්‍රවර්ති 20/2)
 
-036

 


අදහස් (0)

රාජස්ථාන් - පන්ජාබ් කණ්ඩායම් තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.