Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මෙන්ඩිස් වේලාසනින්ම වාසිය මිටට ගනී
ශ්‍රී ලංකා/අයර්ලන්ත තරගය

මෙන්ඩිස් වේලාසනින්ම වාසිය මිටට ගනී

editorial - 2022 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පිට පිටම දෙවැනි තරගයේදීත් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස්, හොබාර්ට් නුවරදී අද (23 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේ පන්දු 30 ක් ඉතිරිව තිබියදීම, අයර්ලන්තයට එරෙහිව කඩුලු 9 ක දැවැන්ත ජයක් කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියේය. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු තරගය වූ මෙම තරගයේදී, ජයග්‍රාහකයන්ට හිමි ප්‍රසාද ලකුණු 4 පමණක් නොව, +2.467 ක ශූද්ධ ලකුණු වේගයක්ද ශ්‍රී ලංකා කණ්ඩායම අත්පත් කරගත්ත්ය.

මෙය, තරගාවලියේ වාසිය වේලාසනින්ම මිටට ගැනීමකි.

චිත්තාකර්ශනීය හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින්, පන්දු 43 කදී නොදැවී ලකුණු 68 ක් ලබාගත් කුසල් මෙන්ඩිස්, තරගයේ වීරයා සම්මානය හිමිකරගත්තේය.

නිත්‍ය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආබාධයකට ලක්ව සිටීම නිසා එම ස්ථානයට පැමිණි ධනංජය ද සිල්වාගෙන් කුසල්ට ලැබුණේ අති විශිෂ්ඨ සහයෝගයකි. ප්‍රහාරාත්මක ඕවර 6 දීම, (පන්දු 36 කින්) ලකුණු 50 ක් පුවරුවට එක්කළ කුසල් සහ ධනංජය ද සිල්වා, පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63 ක් එක්කිරීමට මුහුණ දුන්නේ පන්දු 50 ක් පමණි.

ධනංජය දැවී යාමෙන් පසුව පැමිණි චරිත් අසලංක තවත් පිතිකරුවකුට පිටියට එන්නට නොතබා, සිය කාර්යය අවසන් කළේ පන්දු 22 කින් ලකුණු 33 ක් ලබාගනිමිනි.

නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 79 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව 12 දෙනාගේ වටයට කැඳවාගෙන ආ කුසල්, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී දැනට ලබා ඇති ලකුණු සංඛ්‍යාව 171 කි. මෙන්ඩිස් සහ ධනංජය දෙදෙනා පමණක් නොව, චරිත් අසලංක පවා පන්දු යවන්නන් තැතිගැන්වූයේ හදිසියේ නිර්මාණය කරගත් පහරවලින් නොව, ක්‍රිකට් පොතේ ඇති සම්මත පහර වලිනි.

මහීෂ් තීක්‍ෂණ (19/2) සහ වනිඳු හසරංග (25/2) දෙදෙනා කළ ප්‍රදර්ශනාත්මක පන්දු යැවීම නිසා අයර්ලන්ත ක්‍රීඩකයෝ ඕවර 20 කදී ලකුණු 128 කට සීමා වූහ. ඉනිමේ පළමු ඕවර 10 න් ලකුණු 60 ක් පමණක් ලබාගත් අයර්ලන්තයට ඉතිරි ඕවර 10 න් ලබාගත හැකිවූයේ තවත් ලකුණු 68 ක් පමණි.

ආරම්භයේදී තරමක ප්‍රහාරයට ලක්වූ වනිඳු හසරංගගේ ඕවර 3 කින් ලකුණු 22 ක් ලබාගැනීමට අයර්ලන්ත පිතිකරුවන් සමත් වූ නමුත්, විස්සයි-20 තරග සඳහා දැනට ලෝකයේ සිටින විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නන් දෙදෙනාගෙන් අයකු තමන් යයි තවත් වරක් තහවුරු කළ හසරංග, සිය ඕවර 4 නිමා කළේ අවසන් ඕවරයේදී ලකුණු 03 කට කඩුලු දෙකක් දවාගනිමිනි. මෙම කඩුලු දෙකම දවාගැනීම සඳහා පිටියේ ඈත කෙළවරේ සිටි චාමික කරුණාරත්න ඉතාමත් අගනා  උඩපන්දු දෙකක් රැකගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයේදී සහභාගි වන පළමු වැනි තරගය මෙයයි. අයර්ලන්තය සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේ විස්සයි-20 ලෝක කුසලානය දෙවරක් ජයගත් ලෝකයේ එකම කණ්ඩයම වන බටහිර ඉන්දීය කොදෙව් පිල තරගාවලියෙන් ඉවතට ඇද දමමිනි.

තම පළමු පන්දුවේදීම අයර්ලන්ත නායකයා වන ඇන්ඩෲ බැල්බිරින් පිටියෙන් ඉවත් කළ ළහිරු කුමාර, ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට කැඳවාගෙන ආවේය. මහීෂ් තීක්‍ෂණ හමුවේ ලෝකන් ටකර් දැවී ගියද පෝල් ස්ටර්ලිං ලකුණු වේගය වැඩිකිරීමට උත්සාහ ගත්තේය.
 
10 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී, බැක්වර්ඩ් පොයින්ට් හි සිටි චරිත් අසලංක අති විශිෂ්ට ආකාරයෙන් රැකගත් උඩපන්දුව නිසා කර්ටිස් කැම්පර් දැවී ගියේය. ඉනිමේ අඩක් නිමාවී තිබුණද ලකුණු වේගය 6.00 මායිමේ රැඳී තිබිණ.

අයර්ලන්තය වෙනුවෙන් පෝල් ස්ටර්ලිං (34) සහ හැරී ටෙක්ටර් (45) සාධාරණ ලකුණු ලබාගත් නමුත් සෙසු පිතිකරුවන් සියලු දෙනාවම පාලනය කරගනිමින්, ඔවුන් වෙත එල්ල වූ පිීඩනය එන්න එන්නම වැඩි කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. 9 වැනි ඕවරයේදී ධනංජය ද සිල්වා විසින් හැරී ටෙක්ටර් දවාගැනීමෙන් පසුව අයර්ලන්ත පිතිහරඹයේ ජවය සිඳී ගියාක් මෙන් විය.

අයර්ලන්ත ඉනිමේ අග්ගිස්සේ ඕවර 4 ලකුණු 24 කට සීමාකරගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එම කාලය ඇතුළත කඩුලු 4 ක් දවාගත්හ.


අදහස් (0)

මෙන්ඩිස් වේලාසනින්ම වාසිය මිටට ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.