Last Update  :  2024-05-18 12:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාස 44 කට පසුව එක්දින තරගාවලි ජයක්

මාස 44 කට පසුව එක්දින තරගාවලි ජයක්

editorial - 2019 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවිශ්ක ප්‍රනාන්දුගේ (82) අලංකාර පිතිහරඹයත් කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනාගේ සම්බන්ධතාවත් නිසා කිසිදු අපහසුවකින් තොරවම ලකුණු 239 ක  ඉලක්කය පසුකර ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 7 ක පහසු ජයක් ලබාගත්තේය. මෙම ජයත් සමගින් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් මව්බිමේදී පැවැති එක්දින තරගාවලියක් ජයගත්තේ වසර තුන හමාරකට හෙවත් මාස 44 කට පසුවය. ශ්‍රී ලංකා කණ්ඩායමක් මව්බිමේදී අවසන් වරට එක්දින තරගාවලියක් ජයගත්තේ 2015 නොවැම්බර් මාසයේදී බටහිර ඉන්දීය පිලට එරෙහිව පැවැති තරගාවලියයි.

එතැන් සිට ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගාවලි 6 කදී ඕස්ටේ්‍රලියාව, සිම්බාබ්වේ, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම වසර දෙකකට ඉහතදී බංග්ලාදේශය හමුවේ පැවැති තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කරගත්තේය.

වර්තමාන එක්දින පිටියේ ලකුණු 238 ක් යනු කිසිසේත්ම ආරක්‍ෂිත ලකුණු සංඛ්‍යාවක් නොවේ. පන්දු යවන්නන්ට සුවිශේෂී යමක් කළ නොහැකි වුවහොත් ලකුණු 240 ක් යනු ඕවර 45 ක ඇතුළතදී ළඟාවිය හැකි ඉලක්කයකි. ශ්‍රී ලංකා කණ්ඩායමද හොඳ වේගයක් පවත්වාගනිමින් ඉලක්කය කරා ගියද කුසල් පෙරේරා දැවී යාමත් සමගින් තරමක් පරෙස්සම් සහගත ගමනකට අවතීර්ණ විය. මෙම අවස්ථාවේදී තරගයේ පාලනය සියතට ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සූදානම් වීම හේතුවෙන් සිහි එළවාගත් ඇන්ජලෝ මැතිව්ස්, ලකුණු හඹා යාමේ අවසරය කුසල් මෙන්ඩිස්ට පැවරීය.

එතැන් සිට පෙරමුණ ගත් මෙන්ඩිස් බංග්ලාදේශ පන්දු යවන්නන්ට සිතාගැනීමටවත් කාලයක් නොතබා ලකුණු හඹායාමට වූයෙන් පන්දුවෙන් පන්දුව ඔහුට ආත්ම විශ්වාසය එකතු විය. තරගය අවසන් වන විට දෙදෙනා අතර සම්බන්ධතාව ලකුණු 96 ක් වූ අතර ඒවායින් ලකුණු 44 ක් තනි ලකුණු විය.

සිය පියා රෝහල්ගතකර සිටියදීත්, කණ්ඩායම වෙනුවෙන් වගකීම ඉටුකිරීමේ අටියෙන් පිත්ත අතට ගෙන පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු අලංකාර පිතිහරඹයක යෙදෙමින් ලකුණු 82 ක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවතට කැඳවාගෙන එමිනි. දිමුත් කරුණාරත්න සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ අවිශ්ක කුසල් පෙරේරා සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 58 ක් එක් කළේය.

තවමත් 21 හැවිරිදි මෙම දකුණත් පිතිකරුවා මුහුණ දුන් පන්දු 75 න් පන්දු 11 ක් හතරේ සීමාව පසුකර ගිය අතර දෙකක් ඩීප් මිඞ් විකට් සහ ඩීප් ස්ක්වෙයාර් ලෙග් කලාපයන්ට ඉහළින් පියාඹා ගියේය. මේ ඔහුගේ දෙවැනි එක්දින අර්ධ ශතකයයි. තවමත් එක්දින තරග 11 කට පමණක් සහභාගි වී ඇති අවිශ්ක අවසන් එක්දින තරග 6 දී ලබාගත් ලකුණු සංඛ්‍යාව 292 කි.

ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගෙන ගියද බංග්ලාදේශ පිතිකරුවන් මැනවින් පාලනය කරගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නියමිත ඕවර 50 අවසන් වන විට බංග්ලාදේශ ඉනිම ලකුණු 238 කට සීමා කළහ. ඒ අතරවාරයේදී කඩුලු 8 ක් අහිමි කරගත් බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ මුෂ්ෆිකුර් රහීම් නොදැවී ලකුණු 98 ක් ලබාගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායමේ සිටින පළපුරුදුම පිතිකරුවා වන හිටපු නායක මුෂ්ෆිකුර් රහීම් 35 වැනි ඕවරය වන විටත් ලබා සිටියේ ලකුණු 46 ක් පමණි. එහෙත් මෙහෙදි හසන් මිරාස් සමග එක්ව පන්දු 81 කදී හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ රහීම් සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා තම පිල කැඳවාගෙන ගියේය.

සෙසු පිතිකරුවන් එකා පසුපස එකා දැවී යද්දී තම කඩුල්ල රැකගැනීමට උත්සුක වූ රහීම් සෙසු පිතිකරුවන්ට ලකුණු හඹායාමට සහයෝගය දුන්නේය. පන්දු 110 කට මුහුණ දුන් රහීම් හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සිය ඉනිමට ඇතුළත් කළද ඔහුගේ ලකුණු 98 න් ලකුණු 58 ක් තනි ලකුණු විය. තවත් ලකුණු 10 ක් ආවේ ද්විත්ව ලකුණු ලෙසිනි.

මන්දගාමී තණතීරුවකදී දඟ පන්දුවෙන් ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා නායකයා සිය පන්දු යවන්නන් හොඳින් මෙහෙයවමින් තරගයේ 35 වැනි ඕවරය නිමා වන තුරුම ලකුණු වේගය 4.00 කට අඩුවෙන් තබාගත්තේය. 35 වැනි ඕවරය නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 130 ක් පමණක් සටහන්ව තිබූ බංග්ලාදේශ ලකුණු පුවරුවේ එකම අර්ධ ශතකයක් හෝ සටහන් වී නොතිබිණ. කෙසේ වෙතත් අවසන් ඕවර 15 දී බංග්ලාදේශ පිතිකරුවෝ ලකුණු 108 ක් උදුරා ගත්හ.

දඟ පන්දු යවන්නන් වන අකිල ධනංජය සහ ධනංජය ද සිල්වා යැවූ පළමු ඕවර 16 දී බංග්ලාදේශ පිතිකරුවන්ට ලබාගත හැකිවී තිබුණේ ලකුණු 56 ක් පමණි. ඒ අතරවාරයේදී අකිල ධනංජය කඩුලු දෙකක් සිය මල්ලට දමාගත් අතර 35 වැනි එක්දින තරගයේදී 50 වැනි කඩුල්ල දවාගැනීමටද සමත් වූයේය. වේග පන්දු යවන්නකු වශයෙන් අගනා පන්දු යැවීමක නිරතව සිටි ලහිරු කුමාර සිය ඕවර 7 දී බංග්ලාදේශ පිතිකරුවන් ලකුණු 17 කට සීමාකරගත් නමුත් ඔහුගේ අවසන් ඕවර 3 දී බංග්ලාදේශ පිතිකරුවෝ ලකුණු 25 ක් ලබාගත්හ.
ප්‍රහාරය ආරම්භ වූයේ මෙහෙදි හසන් මිරාස් පිටියට පිවිසීමෙන් පසුවය.

සිය පළමු පන්දු 12 න් තනි ලකුණු 4 ක් පමණක් ලබාගත් මිරාස් අනතුරුව මුහුණ දුන් පන්දු 37 න් ලකුණු 39 ක් උදුරාගත්තේ හතරේ පහර 6 ක්ද සිය ඉනිමට ඇතුළත් කරමිනි. මේ අතරවාරයේදී මුෂ්ෆිකුර් රහීම් පන්දු 43 කින් ලකුණු 52 ක් ලබාගත් නමුත් ඔහුට ශතකය ලබාගැනීමේ අවස්ථාව අහිමි විය.

 

 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)


අදහස් (0)

මාස 44 කට පසුව එක්දින තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.