Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාක්‍රම් - වැන්ඩර්ඩසන්ගෙන් ද.අප්‍රිකාවට තල්ලුවක්

මාක්‍රම් - වැන්ඩර්ඩසන්ගෙන් ද.අප්‍රිකාවට තල්ලුවක්

editorial - 2021 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඒඩ්න් මාක්‍රම් (74) සහ රාසි වැන්ඩර්ඩසන් (64) එක්ව දෙවැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 127 ක සම්බන්ධතාවය හේතුවෙන් සත්කාරක පාකිස්තානු කණ්ඩායමට එරෙහිව කරච්චිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (28 වැනිදා) සඳහා තරගය නතර කරනවිට දකුණු අප්‍රිකාව කඩුලු 4 කට ලකුණු 187 ක් ලබාගත්තේය. ඒ අනුව පාකිස්තානය පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 29 ක් ඉදිරියෙන් මේ වනවිට දකුණු අප්‍රිකාව පසුවන්නේය.

ලකුණු 158 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකාව මේ වනවිට ඉනිමක පරාජයෙන් ගැලවීමට සමත්වුවද ලකුණු 10 ක් තුල මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙකුම දැවීයාම හේතුවෙන් දැඩි අසීරූතාවයකට පත්වී ඇත.

දකුණු අප්‍රිකානු පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 48 ක් වනවිට පළමු කඩුල්ල ලෙස ඩීන් එල්ගා දැවී ගියද ඉන් නොසැලුණු ඒඩ්න් මාක්‍රම් සහ රාසි වැන්ඩර්ඩසන් අර්ධ ශතක ලබාගනිමින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 127 ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.

මුළු ලකුණු සංඛ්‍යාව 175 ක් වනවිට දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවයට තිත තබමින් ලකුණු 64 ක් රැස්කර සිටි රාසි වැන්ඩර්ඩසන්, පාදඟ පන්දු යවන යසීර් ෂාගේ පන්දුවක් හමුවේ අබිඩ් අලීට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. මිනිත්තු 205 ක කාළයක් කඩුල්ලේ රැඳී සිටි රාසි වැන්ඩර්ඩසන් පන්දු 151 කට මුහුණ දෙමින් සිය ඉනිමට හතරේ පහර 5 ක් එක්කර ගත්තේය.

ඉන් නොනැවතුණු යසීර් ෂා දකුණු අප්‍රිකානු ඉනිමට තවත් ලකුණු 10 ක් එක්වන විටදී ෆෆ් ඩු ප්ලෙසිස් (10) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දවාගැනීමට සමත්විය. ඉතා ආරක්ෂාකාරීව සෙමින් ලකුණු රැස්කිරීමේ නිරතවූ ආරම්භක පිතිකරු ඒඩ්න් මාක්‍රම් මිනිත්තු 34 ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 224 කට මුහුණ දුන්නේය. නවුමාන් අලීගේ පන්දුවක් හමුවේ අබිඩ් අලීට උඩපන්දුවක් දෙමින් දැවීගිය ඒඩ්න් මාක්‍රම් හතරේ පහර 10 ක් සමගින් ලකුණු 74 ක් ලබාගත්තේය.

දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ බලබිදිමින් සිටින පාදඟ පන්දු යවන ක්‍රීඩක යසීර් ෂා ලකුණු 53 කට කඩුලු 3 ක් දවාගෙන ඇත.

දෙවැනි දිනට ඊයේ (27 වැනිදා) තරගය අවසන් කරනවිට සිය පළමු ඉනිම සඳහා කඩුලු 8 කට ලකුණු 308 ක් රැස්කරගෙන සිටි පාකිස්තානුවෝ අද දිනයේදී සියලුදෙනා දැවී ලකුණු 378 ක් රැස්කිරීමට සමත්වූහ.

ලකුණු 295 කට පාකිස්තානු කඩුලු 8 ක් දැවී තිබියදී පසුපෙළ පිතිකරුවන් වූ හසන් අලී (21), නවුමාන් අලී (24) සහ යසීර් ෂා (නොදැවී 38) අවසන් කඩුලු දෙකට ලකුණු 83 ක් එක්කිරීමට සමත්වූහ.

කගිසෝ රබාඩා සහ කේෂව් මහරාජ් කඩුලු 3 බැගින්ද ලුන්ගි න්ගිඩ් සහ ඇන්රිච් නෝයේ කඩුලු 2 බැගින්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


දකුණු අප්‍රිකාව - පළමු ඉනිම - සියලුදෙනා දැවී 220
(ඩීන් එල්ගා 58, ෆෆ් ඩු ප්ලෙසිස් 23, ජෝර්ජ් ලින්ඩේ 35, කගිසෝ රබාඩා නොදැවී 21, යසීර් ෂා 54/3, නවුමාන් අලී 38/2, සහීන් ෂා 49/2)

පාකිස්තානය - පළමු ඉනිම - සියලුදෙනා දැවී 378
(අසාර් අලී 51, ෆවාඩ් අලාම් 109, මොහොමඩ් රිස්වාන් 33, ෆහීම් අෂ්රාෆ් 64, හසන් අලී 21, නවුමාන් අලී 24, යසීර් ෂා නොදැවී 38, කගිසෝ රබාඩා 70/3, කේෂව් මහරාජ් 90/3, ලුන්ගි න්ගිඩ් 57/2, ඇන්රිච් නෝයේ 105/2)

දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 187
(ඒඩ්න් මාක්‍රම් 74, ඩීන් එල්ගා 29, රාසි වැන්ඩර්ඩසන් 64, යසීර් ෂා 53/3)


- 2079

 


අදහස් (0)

මාක්‍රම් - වැන්ඩර්ඩසන්ගෙන් ද.අප්‍රිකාවට තල්ලුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.