Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මළානික තණතීරුවක නිර්මාණය කළ සටනක්
දෙවැනි ටෙස්ට් තරගය

මළානික තණතීරුවක නිර්මාණය කළ සටනක්

editorial - 2023 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

කාලය වේගයෙන් ගලාගෙන යද්දී ඉතිරිව තිබුණේ දින දෙකක් පමණි. 
පන්දු යවන්නන්ට කිසිම සහයෝගයක් නැති තණතීරුව මළානිකය. එය පිතිකරුවන්ගේ පහසු දඩ බිමක් වී තිබිණ. පැවැති තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත් නිශාන් මධුෂ්ක (205), කුසල් මෙන්ඩිස් (245) සහ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 100) අයර්ලන්තයට වඩා ලකුණු 212 ක් ඉදිරියට ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන යමින් බලාපොරොත්තු තැබිය නොහැකි තණතීරුවකදී සටනක් නිර්මාණය කළහ. 

ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (27 වැනිදා) කඩුලු 3 කට ලකුණු 704 ක් ලබා, තේ පානයෙන් පසුව ඉනිම නතර කළ ශ්‍රී ලංකා කණ්ඩායම හැකිනම් තරගය බේරාගන්නා ලෙස අභියෝග කරමින් අයර්ලන්ත දෙවැනි ඉනිමේ දොරටු විවර කළහ. 

අද සවස ක්‍රීඩාව නතර කරන විට අයර්ලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 54 ක් ලබා සිටියේය. ඉනිමක පරාජයෙන් ගැලවීම  සඳහා අයර්ලන්තය තවත් ලකුණු 158 ක් ලබාගත යුතුවන අතර යම් හෙයකින් අයර්ලන්ත ඉනිම එතැනින් ඔබ්බට ඇදී ගියහොත්, යළිත් වරක් පන්දුවට පහර දීමේ අවස්ථාවත් ශ්‍රී ලංකා පිලට තිබේ. 

උදෑසන තරගය ආරම්භ වන විට අයර්ලන්තයට වඩා ලකුණු 135 කින් පසුපසින් සිටි ශ්‍රී ලංකාව දිවා ආහාරය වන විට දෙපිල අතර පරතරය ලකුණු 03 ක් දක්වා අඩුකර ගත්තේය. තේ පානය වන විට ලකුණු 158 කින් ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවෝ අද තේ පානයට පෙර  අයර්ලන්ත පන්දු යවන්නන්ගෙන් උදුරා ගත් ලකුණු සංඛ්‍යාව 293 කි. 
මේ අතරවාරයේදී නිශාන් මධුෂ්ක, අලංකාර ස්ක්වෙයාර් කට් පහරකින්, කෝඩුකාර මැතිව් හම්ප්‍රේස්ගේ පන්දුවක් හතරේ සීමාවට යවමින් සිය මංගල ටෙස්ට් ශතකයම ද්විත්ව ශතකයක් බවට පරිවර්තනය කරගත්තේය. 

මධුෂ්ක, සිය මංගල ටෙස්ට් ශතකය ද්විත්ව ශතකයක් බවට පරිවර්තනය කරගත් දෙවැනි ශ්‍රී ලාංකිකයාය. 1987 දී, නවසීලන්ත පිලට එරෙහිව, එවන් දස්කමක් කිරීමට බ්‍රෙන්ඩන් කුරුප්පු සමත් වූවත්, කුරුප්පු සිය ද්විත්ව ශතකය ලබාගත්තේ සිය මංගල ටෙස්ට් තරගයේදීමය. එහෙත් මෙම තරගය නිශාන් මධුෂ්කගේ තුන්වැනි ටෙස්ට් තරගයයි. 

විනාඩි 474 ක්, එනම් පැය 8 කට ආසන්න කාලයක් පුරා පිටියේ රැඳුණු මධුෂ්ක හතරේ පහර 22 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළේය. 

පසුගිය සතියේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදීත් ලකුණු 140 ක් ලබාගත් කුසල් මෙන්ඩිස්, දිවා ආහාරයට පෙර 8 වැනි හයේ පහරත් සිය ඉනිමට ඇතුළත් කළේ ටෙස්ට් ඉනිමකදී වැඩිම හයේ පහර සංඛ්‍යාව ගැසූ ශ්‍රී ලාංකිකයා වශයෙන් කුමාර් සංගක්කාර හා සමතැන් ගනිමිනි. දිවා ආහාරයෙන් පසුව සංගක්කාරගේ වැඩිම හයේ පහර වාර්තාව තමා සතුකරගත් මෙන්ඩිස්, සිය තරග 58 ක ටෙස්ට් දිවියේ පළමු ද්විත්ව ශතකය වාර්තා කළේය. 

මීට පෙර තුන් වතාවක්ම ලකුණු 175 ඉක්මවූ නමුත් ද්විත්ව ශතකය පෙනි පෙනී මෙන්ඩිස් දැවී ගියේය. එහෙත් අද තරගයේදී පැරණි වරද නොකළ දකුණත් පිතිකරුවා, විනාඩි 326 කදී සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළේය. එතැන් සිට වේගයෙන් ලකුණු ලබාගත් මෙන්ඩිස් ටෙස්ට් ඉනිමකදී වැඩිම හයේ පහර සංඛ්‍යාව ගැසූ වසිම් අක්රම්ගේ හයේ පහර 12 වාර්තාව හඹා යද්දී, කෝඩුකාර මැතිව් හම්ප්‍රේස්ගේ අති විශිෂ්ට උඩපන්දු රැකීමක් හමුවේ ලකුණු 245 කට දැවී ගියේය. හම්ප්‍රීස් එතැන නොසිටියා  නම් අක්රම්ගේ ලෝක වාර්තාවත්, තවත් වාර්තා දෙක තුනකුත් කුසල් සතුවන්නට තිබිණ. මෙන්ඩිස්ගේ පැය 6 ක ඉනිම තුළදී 17 වතාවක් හතරේ සීමාව පසුකර ගිය පන්දුව තවත් 11 වතාවක් ඊට ඉහලින් පියාඹා ගියේය. 

දිවා ආහාරයෙන් පසුව තිබුණේ ‘බස්බෝල්’ රටාවේ ක්‍රිකට් තරගයකි. එනම් පිතිකරුවන් හැකි තරම් වේගයෙන් ලකුණ රැස්කරමින්, ප්‍රතිවාදී කණ්ඩායම දවාගැනීම සඳහා පන්දු යවන්නන්ට කාලය ඉතිරි කර දීමයි. දිවා ආහාරයත් තේ පානයත් අතර විනාඩි 135 කදී ලකුණු 160 ක් ශ්‍රී ලංකා පිලට එක්විය. 

ඇන්ජලෝ මැතිව්ස් ද පන්දු 114 කදී නොදැවී ශතකයක් ලබාගනිමින් ලකුණු සැණකෙළියට එක්වූයේය. මිඩ් විකට් කලාපයට ඉහළින් ගැසූ දැවැන්ත හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් මැතිව්ස්ගේ ඉනිම සමන්විත වූයේය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා ඊයේ සවස කී පරිදි, තරගයේ අවසන් දිනයේදී මෙම තණතීරුවේ ඕවර 60 ක් තුළ කඩුලු රැකගැනීම අසීරු අභියෝගයකි. එබැවින් ශ්‍රී ලංකා පිලේ ඉලක්කය වූයේ ලකුණු 200 කට වැඩි වාසියක් අත්කර ගැනීමෙන් පසුව පන්දුවට පහර දීමේ අවස්ථාව අයර්ලන්තය වෙත පැවරීමයි. 

තරගයේ තුන්වැනි දිනය වූ ඊයේ (26 වැනිදා) සවස තේ පානය අතරතුරදී ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඊයේ සවස් වරුවම අපතේ ගියේය. එහෙත් එහි අවාසිය යම්තාක් දුරකට මඟහරවාගත් නිශාන් මධුෂ්ක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා අද පෙරවරුවේදී යැවුණු ඕවර 35 කින් ලකුණු 132 ක් ලබාගත්තේ ආසන්න වශයෙන් විනාඩියකට ලකුණක් බැගින් ලබාගනිමිනි. 

දිවා ආහාරය වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉලක්කයට අවතීර්ණ වී සිටියේය. දිවා ආහාරයෙන් පසුවත් සාර්ථකව සිය සැලසුම ක්‍රියාත්මක ශ්‍රී ලංකා පිතිකරුවෝ අද දිනයේ ඕවර 22 ක් ඉතිරිව තිබියදී ඉනිම අවසන් කළහ. 


අදහස් (0)

මළානික තණතීරුවක නිර්මාණය කළ සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.