Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බිනුරත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

බිනුරත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

editorial - 2022 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


(දමින්ද විජේසූරිය)

පාදයේ කලව මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටින වමතින් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ද විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග සියල්ලම අහිමි වන බව ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (25 වැනිදා), පර්ත් නුවරදී පැවැති ලෝක කුසලාන තරගයේදී පන්දු 5 ක් පමණක් යැවූ බිනුර ප්‍රනාන්දු, පාදයේ කලව මස්පිඬුවේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ආපසු ක්‍රීඩාගාරයට ගියේය.

බිනුරගේ ඉවත්වීම තරගයේ තීරණය කෙරෙහි දැඩි බලපෑමක් කළ අතර ඒ වන විටත් ළහිරු කුමාර ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටියේය. ඕවර 7 ක් අවසානයේදීත් ඕස්ට්‍රේලියානු පිලට ලබාගත හැකිව තිබුණේ කඩුල්ලක් දැවී ලකුණු 38 ක් පමණි.

කලව මස්පිඬුවේ ආබාධය හේතුවෙන් බිනුරට සති කිහිපයක් විවේක ගැනීමට සිදුව තිබේ.
බිනුර ප්‍රනාන්දු, ආබාධයක් හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වූ සිව්වැනි ක්‍රීඩකයාය. මෙම තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගිය ඩිල්ෂාන් මධුශංක (වමත් වේග පන්දු යවන්නා), ධනුෂ්ක ගුණතිලක (ආරම්භක පිතිකරු) සහ දුෂ්මන්ත චමීර (වේග පන්දු යවන්නා) තිදෙනාම විවිධ ආබාධ හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූහ.
 
බිනුරගේ ආබාධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේවන විටත් ලෝක කුසලාන තරගාවලියේ තාක්‍ෂණික කමිටුවට දැනුම් දී තිබේ.

“එයා වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කරන්න අපි අවසර ඉල්ලලා තියෙනවා. ඒත් ඒ සම්බන්ධයෙන් අනුමැතිය දෙන්නේත්, ඒ ක්‍රීඩකයා කවුරුන්ද කියලා කියන්නේත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්‍ෂණික කමිටුවෙන්”යයි දැනට ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය.

මේ අතරවාරයේදී තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනකු ඕස්ට්‍රේලියාවට යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. උසස් දස්කම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ටිම් මැක්ස්කිල් මහතා සමගින් එම ක්‍රීඩකයන් අද රාත්‍රියේම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත. කඩුලු රකින්නකු මෙන්ම පිතිකරුවකු ද වන නිරෝෂන් දික්වැල්ල සමගින් වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ දෙදෙනාම අද රාත්‍රියේදී ඕස්ට්‍රේලියාව බලා යනු ඇත.

දික්වැල්ල, අසිත සහ මතීෂ තිදෙනා, ටිම් මැක්ස්කිල් මහතාගේ අධීක්‍ෂණය යටතේ, මෙල්බර්න් නුවර සිට පුහුණුවීම් කරනු ඇත. ලෝක කුසලාන කණ්ඩායමේ අවශ්‍යතාවක් ඇතිවූ වහාම ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇත.

දුෂ්මන්ත චමීර වෙනුවට ඕස්ට්‍රේලියාවට ගිය කසුන් රාජිතද මේ වන විට ඕස්ටේ්‍රලියාවේ සිටී. තවත් වේග පන්දු යවන්නකු වන ප්‍රමෝද් මධුෂාන් ද තුවාල ලබා සිටින නමුත් ඔහු තවමත් ශ්‍රී ලංකා සංචිතයේ සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ ලෝක කුසලාන තරගය ලබන සෙනසුරාදා (29 වැනිදා) නවසීලන්ත පිලට එරෙහිව සිඩ්නි නුවරදී පැවැත්වෙයි.


අදහස් (0)

බිනුරත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.