සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ශිලාත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති පළමු නිලනොවන එක්දින තරගයේදී ලකුණු 2 ක තියුණු ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සමත්විය. මේ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 281 ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඕවර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 278 ක් පමණි.
පන්දු 78 කට මුහුණදුන් දසුන් ශානක තරගයේ වැඩි බර කරට ගනිමින් ලකුණු 78 ක් රැස්කර සිටියදී ඛලීඞ් අහ්මඞ්ගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක මොහොමඞ් නයීම් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. හයේ පහර 6 ක් සහ හතරේ පහර 2 ක් සිය ඉනිමට එක්කර ගැනීමටද දසුන් ශානක සමත්විය.
ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 13 ක් තුළ දැවී ගිය අතර තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 52 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ළහිරු තිරිමාන්න සහ ශෙහාන් ජයසූරිය සමත්වූහ.ලකුණු 72 කට කඩුලු 4 ක් දැවී සිටි ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම නැවත ගොඩනැගූ දසුන් ශානක සහ අෂාන් ප්‍රියංජන් පස්වැනි කඩුල්ල සඳහා පන්දු 101 කදී ලකුණු 84 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.
වේගවත් පිතිහරඹයක නිරතවූ සම්මු අශාන් පන්දු 19 කදී ලකුණු 28 ක් සහ ශෙහාන් මධුශංක පන්දු 12 කදී ලකුණු 21 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කළද එම උත්සහය අවසන් මොහොතේ අපතේ ගියේය. අවසන් කඩුල්ල සඳහා පන්දු 21 කදී ලකුණු 34 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ශෙහාන් මධුශංක සහ නිශාන් පිරීස් සමත්වූහ.
ඛලීඞ් අහ්මඞ් කඩුලු 4 ක් දවාගැනීමට සමත්වූවද ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්වූ ඔහුගේ ඕවර 10 තුළදී ලකුණු 72 ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 3 ක් සහ අර්ෆුල් හක් කඩුලු 2 ක් දවාගනිමින් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් දායකවූහ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට ආරාධනා කළ අතර නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 280 ක් රැස්කිරීමට ඔවුහු සමත්වූහ.
මිසනූර් රෙහ්මාන් සහ ෆස්ල් මහමුද් අර්ධ ශතක රැස්කරමින් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත්වූහ. පන්දු 107 කට මුහුණදුන් මිසනූර් රෙහ්මාන් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 67 ක් රැස්කර සිටියදී ශෙහාන් මධුශංකගේ පන්දුවක් හමුවේ ශෙහාන් ජයසූරිය අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. අවාසනාවන්ත දුවද්දී දැවීයාමකට හසුවූ ෆස්ල් මහමුද් ලකුණු 59 කට දැවීයනවිට පන්දු 63 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත්විය.
සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 87 කදී ලකුණු 95 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමේ ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට ෆස්ල් මහමුද් සහ මොහොමඞ් මිතුන් සමත්වූහ.
නායක මොහොමඞ් මිතුන් පන්දු 44 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 44 ක් රැස්කළ අතර වේගවත් පිතිහරඹයක නිරතවූ අරිෆුල් හක් පන්දු 22 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 47 ක් රැස්කිරීමට සමත්විය.
පන්දු යවන්නන් 6 දෙනෙකු යොදා ගත්තද ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක තිසර පෙරේරා බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කිරීමට අපොහෝසත්වූ අතර පන්දු යවන්නන් පස්දෙනෙකු කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.