පිතිකරුවෝ සවිය පෙන්වති
(දමින්ද විජේසූරිය)
ක්‍රිකට් තරගයකදී පන්දු යවන්නන් මොන දේ කළත් වැඩි අවධානය යොමුවන්නේ පිතිකරුවන් වෙතට බව සාමාන්‍යය පිළිගැනීමයි. එයම යළිත් වරක් පසක් කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගය අද (25 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමා විය.
තරගයේ අවසන් දිනය වූ අද තේ පානය සඳහා ක්‍රීඩකයන් ක්‍රීඩාගාරයට පිවිසීමත් සමගම ඇදහැළුණු වර්ෂාවෙන් තරගය අවසන් කිරීමට සිදුවිය. වර්ෂාව අද පස්වරු 4.15 පමණ වනතෙක් පැවැති බැවින් ද තරගයේ විසඳුමක් පෙනෙන තෙක් මානයක නොවූ බැවින් ද තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරු එකඟ වූහ.
බංග්ලාදේශ දෙවැනි ඉනිම ආරම්භයේදීම සුරංග ලක්මාල් කඩුලු 2 ක් දවාගත් නමුත් එය තාවකාලික තෘප්තියකට සීමා විය. කලව මස්පිඬුව ඉරීයාමේ ආබාධයකට ලක්වූ ළහිරු කුමාරගේ සේවය අහිමිවීම ශ්‍රී ලංකා නායකයාට බෙහෙවින් අවාසිදායක වූයේය. කෙසේ වෙතත් පිතිකරුවන්ගේ දඩබිමක් වූ තණතීරුවක ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වඩාත් සාධාරණ මෙහෙවරක නිරත වූහ.
දින 5 ක් ඇතුළතදී දෙපිලේම පිතිකරුවන් විසින් එක්රැස්කරගන්නා ලද ලකුණු සංඛ්‍යාව 1289 කි. ඒ අතරවාරයේදී ද්විත්ව ශතකයක් සහ ශතක තුනක් වාර්තා වූ නමුත් ඒවායේ අලංකාරය දැකගැනීමට ප්‍රේක්‍ෂකයන් නොසිටීම කණගාටුවට කරුණක් විය. දෙපිලේම පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ (දුවද්දී දැවීයමත් ඇතුළුව) කඩුලු 17 කි. එහෙත් ටෙස්ට් තරගයක් ජයගැනීමට නම් එක පිලක පන්දු යවන්නන් විසින් කඩුලු 20 ක් දවාගනු ලැබිය යුතුව තිබේ.
තරග දෙකකින් සමන්විත තරගාවලියේ දෙවැනි තරගයත් මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන බැවින් දෙවැනි තරගයේදී ජයග්‍රහණයක් අපේක්‍ෂා කරන්නේ කෙසේද යන පැනයට දෙපිලම මුහුණ දී සිටී. ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගයක් වන නමුත් මේ වන විටත් ඉන්දියාව සහ නවසීලන්තය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින බැවින් මෙම තරගාවලියේදී දෙපිලේම අවධානය යොමු වී ඇත්තේ ද්විපාර්ශ්වික තරග ඉතිහාසයේ වඩාත් කතාබහට ලක්වන තරගයක් බවට එය පරිවර්තනය කරගැනීම පමණි.
අනෙක් අතට කොරෝනා වසංගතයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ටෙස්ට් තරගයක් ජයගෙන නැත. කොරෝනාවෙන් පසුව ශ්‍රී ලංකා පිල මෙතෙක් සහභාගි වූ තරග 7 න් තරග 4 ක්ම පරාජය වී ඇති අතර අනෙක් තරග තුනම ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ.
ලකුණු 541 ක පීඩනයට නතුව සිටියදී පිටියට පිවිස, චිත්තාකර්ශනීය ද්විත්ව ශතකයක් ලබාගනිමින් ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේ වාර්තාව එලෙසම තබාගත් ශ්‍රී ලංකා නායකයා තරගයේ වීරයා වශයෙන් සම්මාන දිනාගත්තේය.
“කොදෙව් සංචාරයේදී මා දැඩි සේ අසාර්ථක වුණා. ඒ නිසා මට ඕනෑ කළේ මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නයි” යයි දිමුත් තරගයෙන් පසුව පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තණතීරුව සූදානම් කළේ වේග පන්දුවෙන් බංග්ලාදේශ පිතිකරුවන් මට්ටු කරන අදහසිනි. එහෙත් දහවල් කාලයේ පැවැති අධික උෂ්ණත්වය නිසා තණතීරුවේ තෙතමනය වියළී ගිය අතර පසුව එය පිතිකරුවන්ගේ පරාදීසයක් බවට පත්විය. තණකෙළ වැඩියෙන් තිබූ බැවින් තණතීරුව පුපුරා යාම පාලනය කෙරුණු අතර දඟ පන්දු යවන්නන්ට හෝ එයින් වැඩක් ගත නොහැකි විය.
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 500 සීමාව ඉක්මවා යාමත් සමගින් ශ්‍රී ලංකා කළමණාකාරීත්වයේ ඇතැම්හු තණතීරුවේ ස්වභාවය සම්බන්ධයෙන් කණස්සල්ල පළකර සිටියහ. එහෙත් දිමුත් - තිරිමාන්න - ධනංජය තිදෙනාගේ ධෛර්යවත් පිතිහරඹය නිසා පසුව එම කණස්සල්ල පහව ගියේය.
“මේ තණතීරුවේදී පන්දු යවන්නන්ට ගන්න දෙයක් තිබුණේ නෑ. දෙවැනි ඉනිමේදී පවා පිතිකරුවන්ට යෝග්‍ය තත්ත්වයක් තිබුණේ... මේ වගේ තණතීරුවකදී මීට වඩා කරන්න දෙයක් නෑ” යයි දිමුත් කරුණාරත්න වැඩිදුරටත් පැවසීය.
ඡායාරූපය - ඒ.එෆ්.පී.
ලකුණු පුවරුව
බංග්ලාදේශය - පළමු ඉනිම 541
(ටමීම් ඉක්බාල් 90, නජ්මුල් හොසේන් 163, මොමිනුල් හක් 127, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 68, ලිටන් දාස් 50, විශ්ව ප්‍රනාන්දු 96/4)
ශ්‍රී ලංකාව - පළමු ඉනිම
දිමුත් කරුණාරත්න - ඇ.හොසේන් ප.ටස්කින් අහමඩ් 244
ළහිරු තිරිමාන්න - ක.මු.කළා ප.මෙහෙදි හසන් 58
ඕෂධ ප්‍රනාන්දු - ඇ.ලිටන් දාස් ප.ටස්කින් අහමඩ් 20
ඇන්ජලෝ මැතිව්ස් - ප.තයිජුල් ඉස්ලාම් 25
ධනංජය ද සිල්වා - ප.ටස්කින් අහමඩ් 166
පැතුම් නිස්සංක - ඇ.ලිටන් දාස් ප.එබාදත් හොසේන් 12
නිරෝෂන් දික්වැල්ල - දුවද්දී දැවී ගියා 31
වනිඳු හසරංග - ප.තයිජුල් ඉස්ලාම් 43
සුරංග ලක්මාල් - නොදැවී 22
විශ්ව ප්‍රනාන්දු - නොදැවී 0
අතිරේක 27
එකතුව ඕවර 179 කදී කඩුලු 8 ක් දැවී 648
කඩුලු වැටීම :
1-114(තිරිමාන්න), 2-157(ඕෂධ ප්‍රනාන්දු), 3-190(ඇන්ජලෝ මැතිව්ස්), 4-535(ධනංජය ද සිල්වා), 5-544 (දිමුත් කරුණාරත්න), 6-553(පැතුම් නිස්සංක), 7-585(නිරෝෂන් දික්වැල්ල), 8-647(වනිඳු හසරංග)
පන්දුවට පහර නොදුන් පිතිකරු
ළහිරු කුමාර
පන්දු යැවීම
අබු ජායිද් : 19-2-76-0, ටස්කින් අහමඩ් : 30-6-112-3, එබාදත් හොසේන් : 21-1-99-1, මෙහෙදි හසන් : 58-6-161-1, තයිජුල් ඉස්ලාම් : 45-9-163-2, මොමිනුල් හක් : 4-0-18-0, යසිෆ් හසන් : 2-0-05-0
බංග්ලාදේශය - දෙවැනි ඉනිම
ටමීම් ඉක්බාල් - නොදැවී 74
සයිෆ් හසන් - ඇ.දික්වැල්ල ප.ලක්මාල් 1
නජ්මුල් හොසේන් - ප.ලක්මාල් 0
මොමිනල් හක් - නොදැවී 23
අතිරේක 2
එකතුව ඕවර 33 කදී කඩුලු 2 ක් දැවී 100
කඩුලු වැටීම :
1-21( සයිෆ් හසන්), 2-27(නජ්මුල් හොසේන්)
පන්දු යැවීම
සුරංග ලක්මාල් : 8-2-21-2, විශ්ව ප්‍රනාන්දු : 5-2-18-0, ධනංජය ද සිල්වා : 11-1-46-0, වනිඳු හසරංග : 9-0-15-0