Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පැතුම් හෙට තරගයට ක්‍රීඩා කරනවා
පූර්විකාව

පැතුම් හෙට තරගයට ක්‍රීඩා කරනවා

editorial - 2022 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගය අතුරතුරදී ආබාධයකට ලක්වීම හේතුවෙන් අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී විවේක ගැන්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, ඕස්ටේ්‍රලියාවට එරෙහිව පර්ත් නුවරදී හෙට (25 වැනිදා) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවන බව කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.

පැය 5 ක පමණ ගුවන් ගමනකින් පසුව පර්ත් නුවර වෙත ලඟා වූ ශ්‍රී ලංකා කණ්ඩායම, තරගයට පෙර දිනයේ (24 වැනිදා) පස්වරු 5.00 සිට රාත්‍රී 8.00 දක්වා පුහුණුවීම් වල නිරත විය. පුහුණු සැසිය ආරම්භ වීමට පෙර පැවැති මාධ්‍ය හමුවේදී පැතුම්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තීක්ෂණ මෙසේ කියා සිටියේය.

“ඇත්තටම එයා (පැතුම්) මේ වෙනකොට හුඟක් හොඳ තත්ත්වයක ඉන්නවා. ඒ නිසා එයා මේ තරගයට ක්‍රීඩා කරාවි.” යැයි තීක්ෂණ පැවසීය. අයර්ලන්ත තරගයට ක්‍රීඩා නොකළද, ඒ වන විටත් පැතුම්ගේ ආබාධ තත්ත්වය බොහෝ දුරට සුව වී තිබූ බව වාර්තා වන අතර ඔහු පුහුණු දැල තුළ පිතිහරඹයේ නිරත වී තිබූ අයුරුද දැකගත හැකි විය.

“හිටපු ලෝක ශූරයන් විදියට ඕස්ට්‍රේලියාව මේ තරගයට ඉතාමත් හොඳින් අවතීර්ණ වේවි කියලා මම හිතනවා. නවසීලන්තය හමුවේ පරාජය වීම නිසා අවාදානමකින් තොරව තවදුරටත් තරගාවලිය තුළ රැදී සිටීමට ඔවුන් මේ තරගයේදී උපරිමයෙන් ක්‍රීඩා කරාවි. ඒත් මේ තරගය කෙසේ හෝ ජයගන්න අපි උත්සාහ කරනවා.”

“ඔවුන්ට හොඳ වේග පන්දු බලෑණියක් ඉන්නවා. මේ තරගයේදී ඔවුන් සතුව තියෙන ලොකුම ශක්තිය තමා ඒක. ඒත් මම හිතනවා ඒ අභියෝගයට සාර්ථක ලෙස මුහුණ දෙන්න අපේ පිතිකරුවන්ට පුලුවන් වේවි කියලා. ලකුණු 160 ක් 170 ක් ලබා ගත්තොත් ඔවුන්ට හොඳ තරගයක් දෙන්න අපිට පුලුවන්.” යැයිද තීක්ෂණ සඳහන් කළේය.

පර්ත් තණතිල්ල වේග පන්දු යවන්නන්ට වාසි දායක තණතිල්ලක් වුවත්, තමාගේ සහ වනිඳුගේ අරමුණ ඕවර 4 ලකුණු 24 කට අඩුවෙන් යැවීම බව පැවසූ තීක්ෂණ, ලකුණු නොලැබෙන අවස්ථාවලදී පිතිකරුවන් විශාල පහර කරා යෑමට යොමු වීමෙන් තමන්ටත්, වනිඳුත් කඩුලු දවාගැනීමට හැකියාව ලැබෙන බවද කියා සිටියේය.

කෙසේ වුවත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් මාධ්‍ය හමුවට සහභාගි වූ මිචෙල් මාෂ් කියා සිටියේ පර්ත් තණතීරුවේදී දඟ පන්දු යවන්නන්ට වැඩි සහයක් නොලැබෙන බැවින් මෙම තරගයේදී වනිඳු සහ තීක්ෂණ ඉල්ලක කරමින් ලකුණු රැස්කිරීමට ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සූදානමින් පසුවන බවය.

“වනිඳු සහ තීක්ෂණ කියන්නේ ලෝක මට්ටමේ දක්ෂ පන්දු යවන්නන් දෙදෙනෙක්. ශ්‍රී ලංකා කණ්ඩායමත් එහෙමයි. හරිම භයානක කණ්ඩායමක්. ඒත් අපේ රටේදි ඔවුන්ට වඩා අපි තරමක් ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුලුවන්. ඒ නිසා ශ්‍රී ලංකාවේ දඟ පන්දු අභියෝගය ජයගන්න අපි සූදානමින් ඉන්නෙ.”

“පර්ත් තණතීරුවෙදි දඟ පන්දු යවන්නන්ට ලොකු දෙයක් කරන්න අමාරුයි. ඒ නිසා අපි මේ තරගයෙදි ඔවුන් දෙදෙනාට එරෙහිව ආක්‍රමණශීලී අයුරින් පිතිහරඹයේ යෙදෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔවුන් දෙදෙනා තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන තුරුම්පු දෙක. ඉතින් ඔවුන්ට එරෙහිව සාර්ථක වෙන්න පුලුවන් වුණොත් තරගයේ වැඩි වාසි අපි සතුවෙයි කියලා අපි හිතනවා.” යැයිද මාෂ් පැවසීය.


ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන්, බිනුර ප්‍රනාන්දු, කසුන් රාජිත සහ අෂේන් බණ්ඩාර

ඕස්ට්‍රේලියානු සංචිතය
ඒරන් ෆින්ච් (නායක), ටිම් ඩේවිඩ්, ඇස්ටන් ආගර්, පැට් කමින්ස්, ජොෂ් හෙසල්වුඩ්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, කේන් රිචඩ්සන්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සම්පා සහ කැමරන් ග්‍රීන්

 


අදහස් (0)

පැතුම් හෙට තරගයට ක්‍රීඩා කරනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.