(දමින්ද විජේසූරිය සහ පානදුර සමන් කාරියවසම්)
බස්නාහිර පළාතේ පැරණිතම මහ ක්‍රිකට් තරගයක් වන පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන මහ ක්‍රිකට් තරගය මේ මස 20, 21 සහ 22 දිනවලදී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. විදුහල් දෙකේම ධජ දෙකෙහි රන්වන් වර්ණය දිස්වන බැවින් ‘රන් මහ සටන’ ලෙසින් හැඳින්වෙන මෙම තරගය මෙවර පැවැත්වෙන්නේ 74 වැනි වතාවටය.
වර්ෂ 1934 සිට මේ දක්වා විදුහල් දෙක අතර මෙතෙක් පැවැති මහ තරග 73 න් තරග 8 ක ජය ශ්‍රී සුමංගල විදුහලට හිමිව ඇති අතර මොරටු මහ විදුහල විසින් දිනාගන්නා ලද තරග සංඛ්‍යාව 7 කි. ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ. මෙම තරගාවලියේදී ශ්‍රී සුමංගල විදුහල අවසන් වරට ජය වාර්තා කළේ වසර 2007 දී ඉරේෂ් පුෂ්පකුමාරගේ නායකත්වයෙනි. මොරටු විදුහල අවසන් වරට ජයගත්තේ වසර 2010 දී අනුරුද්ධික කල්හාරගේ නායකත්වයෙනි. එතැන් සිට පැවැති තරග 15 ම එක දිගට ජය පරාජයෙන් තොරව නිමා විය.
වමතින් දඟ පන්දු යවන්නකු වන මෙවිඳු කුමාරසිරි, මෙවර ශ්‍රී සුමංගල විදුහලේ නායකත්වය දරයි. 2025 - 2026 පාසල් ක්‍රිකට් තරගාවලියේදී පළමු කාණ්ඩයේ ‘බී’ කොටසින් තරග කළ ශ්‍රී සුමංගල විදුහල, පූර්ණ ජයග්‍රහණ 3 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 4 ක් ලබාගෙන තිබේ. තරග 4 කදී පළමු ඉනිමේ පරාජය වී ඇත.
කඩුලු 70 ක් ඉක්මවා දවාගෙන සිටින නායක මෙවිඳු කුමාරසිරි කණ්ඩායමේ ප්රබලතම පන්දු යවන්නාය. ඔහු තරග දෙකකදීම කඩුලු 10 ක් බැගින් දවාගෙන සිටින අතර ඉනිම 5 කදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවාගෙන තිබේ. උපනායක නේක්ෂ ඉද්දමල්ගොඩ මෙම තරගවාරයේ ලකුණු 700 ක් ඉක්මවා ලබාගෙන සිටින ප්‍රබල පිතිකරුවකු වන අතර ඔහු මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට එරෙහිව ද්විත්ව ශතකයක් ලබාගත්තේය. විහඟ සිල්වා, සන්දීප් විජේරත්න, විදුර බාසුරු, පන්සිල් සිල්වා සහ සදික හේවගේ ඉදිරිපෙළ පිතිකරුවෝ වෙති.
නායක මෙවිඳු හැරුණු විට, මෙතුම් ප්‍රනාන්දු සහ බිහඟ සිල්වා කණ්ඩායමේ බලාපොරොත්තු පොදිබැඳගෙන යන පන්දු යවන්නෝ වෙති. මෙතුම් ප්‍රනාන්දු කඩුලු 5 ඉනිම දෙකක් ද සමගින් කඩුලු 30 කට වඩා ලබාගෙන සිටින්නෙකි.
විහඟ නෙත්මිණ මොරටු මහ විදුහල් කණ්ඩායමේ නායකත්වය දරයි.
මොරටු මහ විදුහල මෙවර තරග වාරයේදී පළමු කාණ්ඩයේ ‘බී’ කොටසින් ක්‍රීඩා කරයි. තරග 9 කින් පළමු ඉනිමේ ජයග්‍රහණ 2 ක් ලබා සිටින මොරටු විදුහල් කණ්ඩායම ඉතිරි තරග 7 දී මුල් ඉනිමේ පරාජය වී තිබේ.
සංජන සෙනෙවිරත්න සහ දෙනෙත් සිතුමිණ මොරටු විදුහලේ බලාපොරොත්තු රඳවාගෙන සිටින පිතිකරුවෝ වෙති. මේ දෙදෙනාම මෙවර තරග වාරයේදී ලකුණු 500 ක් ඉක්මවා ලබාගෙන සිටින අතර තුන් ඉරියව්වටම හපන් සංජන සෙනෙවිරත්න කඩුලු 20 ක් දවාගෙන සිටින්නෙකි.
මෙම විදුහල් දෙක අතර 34 වැනි වරටත් පැවැත්වෙන එක්දින තරගය මේ මස 29 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. මේ දක්වා පැවැති එක්දින තරග 33 න් තරග 17 ක ජය ශ්‍රී සුමංගල විදුහල් පිල සතුව තිබේ. මොරටු මහ විදුහල තරග 12 ක් ජයගෙන ඇත.

ශ්‍රී සුමංගල විදුහල් සංචිතය
මෙවිඳු කුමාරසිරි (නායකයා), නේක්ෂ ඉද්දමල්ගොඩ (උප නායකයා), බිහඟ සිල්වා, සංදීප් විජේරත්න, සදීක හේවගේ, දිනුෂ දුලාංජන, විදුර බාසුරු, උමන්ත ආකාශ්, මෙතුම් ප්‍රනාන්දු, පන්සිලු සිල්වා, ලෙළුම් වීරසිංහ, සිහස් නෙත්දිනු, සදෙව් හෙට්ටිආරච්චි, විසල් හංසිත, රිවිත් රන්ලක, ශංශන විහංගන සහ රාජා ප්‍රේමතිරත්න

මොරටු විදුහල් සංචිතය
විහඟ නෙත්සර (නායකයා), සංජන සෙනෙවිරත්න (උප නායකයා), දෙනෙත් සිතුමිණ, සිතුම් සිල්වා, විසල් සිරිවර්ධන, සඳුන් සුවාරිස්, ඕෂධ ජයවික්‍රම, මෙනුක කොතලාවල, සත්සර මිහිරංග, සවිඳු පෙරේරා, නිපුන් කරුණාරත්න, දිනරු ප්‍රනාන්දු, චෙනුර අමරසිංහ, නිමේෂ් ප්‍රනාන්දු, රන්මිත් අප්පුහාමි, සසිඳු පීරිස් සහ සවිඳු ප්‍රනාන්දු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.