Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානුවන්ගේ ජය කෝලි උදුරා ගනී
ඉන්දු - පාකිස්තානු තරගය

පාකිස්තානුවන්ගේ ජය කෝලි උදුරා ගනී

editorial - 2022 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අවසන් ඕවර දෙකේදී ගැසූ හයේ පහර තුනක් ද සමගින් පන්දු 6 කින් ලකුණු 21 ක් ලබාගත් විරාට් කෝලි (නොදැවී 82) මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද පැවැති ඉන්දු - පාකිස්තානු ලෝක කුසලාන තරගයේදී පාකිස්තානුවන් අත පැවැති ජයග්‍රහණය උදුරා ගත්තේය.

වමතින් දඟ පන්දු යවන මොහොමඩ් නවාස් යැවූ අවසන් ඕවරයේදී ඉන්දියානු ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 16 ක් අවශ්‍ය වී තිබිණ. මෙම අභියෝගය එතරම් පහසු නොවූවත්, එම ඕවරයේදී නිපන්දුවක් සහ වයිඩ් පන්දු දෙකක් හේතුවෙන් ඉන්දියානුවන්ට අමතර පන්දු තුනක් සමගින් නිදහස් පහරක් ද හිමිවිය. එයින් උපරිම ප්‍රයෝජන ගත් ඉන්දියානුවෝ, අවසන් පන්දුවේදී ලකුණක් ලබාගනිමින් කඩුලු 4 ක පහසු ජයක් ලබාගත්තේය.

තරගයේ ඕවර 18 ක් නිමාවේදී පන්දු 47 කින් ලකුණු 61 ක් ලබා සිටි විරාට් කෝලි, තරගය අවසන් කරන විට පන්දු 53 කින් ලකුනූ 82 ක් ලබා සිටියේය. කෝලිගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් අලංකෘත විය.

ලකුණු 160 ක ඉලක්කයක් කරා යාමේ අරමුණ ඇතිව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 10 ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට ගියහ. එහෙත් අංක 3 පිතිකරුවා වන විරාට් කෝලි, එක් අන්තයකට වී තම කඩුල්ල ආරක්‍ෂා කරගනිමින්, හැකි සෑම අවස්ථාවකදීම ලකුණු ලබාගනිමින් සිටියේය. කෝලිට අගනා සහයක් දුන් හර්දික් පාණ්ඩ්‍යා පන්දු 37 කින් ලකුණු 40 ක් ලබාගත්තේය.

තරගයේ අවසන් ඕවර 4 දී ඉන්දීය ජයග්‍රහණය සඳහා පන්දු 24 කින් ලකුණු 54 ක් අවශ්‍ය වී තිබිණ. එතැන් සිට ඕවර 4 දී ඉන්දියානුවන්ගේ ලකුණු ලබාගැනීම සටහන් වූයේ ලකුණු 6ක්, 17ක්, 15ක් සහ 16ක් ලෙසිනි.

නරඹන්නන් 90,000 ක් ඉදිරියේ, පැවැති මෙම තරගයේදී ෂාන් මසූඩ් (නොදැවී 52) සහ ඉෆ්තිකාර් අහමඩ් (51) දෙදෙනාගේ සම්බන්ධතාවට ස්තුති වන්නට, පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම, සිය ඕවර 20 නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 159 ක් ලබාගත්තේය.

මසූඩ් සහ අහමඩ් දෙදෙනා ලබාගත් ලකුණු 103 හැරෙන්නට, පාකිස්තානයේ තවත් පිතිකරුවන් 8 දෙනකුටම එක්ව රැස්කරගත හැකිවූයේ ලකුණු 56 ක් පමණි.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා, මෙල්බර්න් තණතීරුවේදී පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් අතර එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගත්තේය. ලකුණු 15 ක් ඇතුළත පාකිස්තානයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගියද, මසූඩ් සහ ඉෆ්තිකාර් එක්ව ලකුණු සංඛ්‍යාව 91 ක් දක්වා ඉහළ දැමූහ.

ඉෆ්තිකාර් අහමඩ්ගේ දැවී යාමත් සමගින්, ලකුණු 29 ක් ඇතුළත පාකිස්තානු පිතිකරුවෝ පස් දෙනෙක්ම දැවී ගියහ. ඉනිම අග්ගිස්සේ ඕවර 4 දී ෂාන් මසූඩ් සමගින් එක්වූ ශහීන් ෂා අෆ්රීඩි (16) පන්දු 16 කදී ලකුණු 31 ක් රැස්කරමින්, පාකිස්තානය ලකුණු 159 ක් කරා කැඳවාගෙන ගියහ.

ජස්ප්‍රීට් බුම්රා නොමැතිව තරග කරන ඉන්දියාව වෙනුවෙන් හර්දික් පාණ්ඩ්‍යා (30/3) සහ අර්ශ්දීප් සිං (32/3) කඩුලු 6 ක් බෙදාගත්හ.

ඉන්දීය කණ්ඩායම මේ වන විට විස්සයි-20 ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 හිමි කණ්ඩායමයි. එහෙත් වසර 2007 දී වි-20 ලෝක කුසලාන දිනාගැනීමෙන් පසුව ඉන්දියාවට මේ දක්වා වි-20 ලෝක කුසලානයක් දිනාගත හැකිවී නැත.

මෙම තරගයේ තීරකවරයා ලෙසින් ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායක රන්ජන් මඩුගල්ල මහතා කටයුතු කරයි.


පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 8 ට 159 යි
(ෂාන් මසූඩ් නොදැවී 52, ඉෆ්තිකාර් අහමඩ් 51, ශහීන් ෂා අෆ්රීඩි 16, හර්දික් පාණ්ඩ්‍යා 30/3, අර්ශ්දීප් සිං 32/3)

ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 160 යි
(විරාට් කෝලි නොදැවී 82, සූර්යකුමාර් යාදව් 15, හර්දික් පාණ්ඩ්‍යා 40, හාරිස් රවුෆ 36/2)


අදහස් (1)

පාකිස්තානුවන්ගේ ජය කෝලි උදුරා ගනී
  • randil Monday, 24 October 2022 08:32 AM

    සුපිරි වැඩ්ඩා කෝලි..!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.