Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු තරගය වැස්සට සේදෙයි

පළමු තරගය වැස්සට සේදෙයි

editorial - 2023 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කෝඩුකාර ක්‍රීඩිකාවන් දෙදෙනකුටම ශ්‍රී ලංකා හිස්වැස්ම පිරිනැමුණු, බංග්ලාදේශයට එරෙහිව, කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පැවැති පළමු එක්දින තරගය වර්ෂාවට සේදී ගියේය. කාන්තා එක්දින ලෝක ශූරතාවලියට ඇතුළත් තරගාවලියක් වන මෙම තරගාවලිය තරග 3 කින් සමන්විතය.

මෙම තරගයේදී යැවිය හැකි වූයේ ඕවර 36.4 ක් පමණි. එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 6 ක් දැවී ලකුණු 152 ක් ලබාගැනීමත් සමගින් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළිණ. එතැනින් නතර කළ තරගය නැවත ආරම්භ කළ නෙහැකි වූයෙන් පස්වරු 2.05 ට පමණ තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් වූ රවීන්ද්‍ර විමලසිරි මහතා සහ නිමාලි පෙරේරා මහත්මිය තීරණය කළහ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන්ම පන්දුවට පහර දීමට තීරණය කළේ වර්ෂාව පෙනි පෙනී තිබුණ බැවින් ඩක්වර්ත් ලුවිස් න්‍යායේ වාසිය ලබාගැනීමේ අටියෙනි. එහෙත් ශ්‍රී ලංකා කාන්තාවන්ට ඉනිම අහවර කිරීමට අවසර නොදීම වර්ෂාව පිට්ටනියට කඩා වැදුණේය.

ශ්‍රී ලංකා පිලේ පළමුවැනි කඩුලු දෙකම ලකුණු 32 කට බිඳ වැටුණ නමුත් චමරි අතපත්තු (47) සහ නවක ක්‍රීඩිකා ඉමේෂා දුලානි (10) එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 73 ක් දක්වා ගෙන ගියේ ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ලකුණු රැස්කිරීමේ වේගය 6.63 වැනි මට්ටමක රඳවා ගනිමිනි. දුලානි සිය කඩුල්ල රැකගෙන සිට අතර චමරි සුපුරුදු වේගවත් පිතිහරඹය දියත් කරමින්, පන්ද 37 කදී ලකුණු 47 ක් ලබාගත්තේ හතරේ පහර 8 ක් සහ හයේ පහර දෙකක් සිය ඉනිමට ඇතුළත් කරමිනි.

චමරි දැවීයාමත් සමගින් ලකුණු රැස්කිරීමේ වේගය අඩුවූ අතර නහීදා අක්තාර් ඕවර 7 කදී ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකා කාන්තාවන්ගේ ලකුණු රැස්කිරීම අඩපණ කළාය.

මෙම තරගයේදී ඉමේෂා දුලානි සහ කාව්‍යා කාවින්දි ශ්‍රී ලංකා එක්දින හිස්වැස්ම දිනාගත්හ. 21 හැවිරිදි දුලානි ඉදිරිපෙළ පිතිකාරිණියක වන අතර කාවින්දි දකුණතින් වේග පන්දු යවන 20 හැවිරිදි ක්‍රීඩිකාවකි.

තරගාවලියේ දෙවැනි තරගය මැයි මස 02 වැනිදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.


අදහස් (0)

පළමු තරගය වැස්සට සේදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.