Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පඩික්කාල්-කෝලි බැංගලෝර් පිල දිනවති

පඩික්කාල්-කෝලි බැංගලෝර් පිල දිනවති

editorial - 2021 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙව්දූත් පඩික්කාල්ගේ (නොදැවී 101) සහ නායක විරාට් කෝලිගේ (නොදැවී 72) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 16 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායිහිදී අද (22 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 178 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් ක්‍රීඩකයෝ පන්දු 21 ක් ඉතිරිව තිබියදී කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකර ගියහ. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 99 කදී ලකුණු 181 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ පඩික්කාල් සහ කෝලි සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. එම අයි.පී.එල්. තරගයකදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් බැංගලෝර් පිතිකරුවන් දෙදෙනකු එක්ව ගොඩනැගූ ඉහළම සම්බන්ධතාව ලෙස වාර්තා අතරට එක්විය.

පන්දු 52 කට මුහුණදුන් පඩික්කාල්, සිය වේගවත් ශතකය හයේ පහර 6 කින් සහ හතරේ පහර 11 කින් වර්ණවත් කළ අතර පන්දු 47 කදී වාර්තා වූ කෝලිගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය. මෙය පඩික්කාල් අයි.පී.එල්. තරගයකදී ලබාගත් පළමු ශතකය ලෙසද සටහන් වූ අතර ජාත්‍යන්තර වරම් දිනානොගත් පිතිකරුවකු අයි.පී.එල්. තරගයකදී ශතකයක් ලබාගත් තෙවැනි අවස්ථාවද විය.

කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 177 ක් ලබාගත්තේය. එහිදී මොහොමඩ් සිරාජ් සහ හර්ෂාල් පතේල් කඩුලු 3 බැගින් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.

පළමු ඕවර 5 තුළදී ජොස් බට්ලර් (8), මනන් වෝරා (7) සහ ඩේවිඩ් මිලර් (0) අඩු ලකුණු සංඛ්‍යාවන්ට පිටියෙන් ඉවත් කළ මොහොමඩ් සිරාජ් සහ කයිල් ජැමීසන්, ආරම්භයේදී රාජස්ථාන් කණ්ඩායම පසුපසට ඇද දැමූහ. පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක් ලබා සිටි සංජු සැම්සන් පිටියෙන් ඉවත් කිරීමට වොෂින්ටන් සුන්දර් සමත්වීමත් සමග රාජස්ථාන් කණ්ඩායම කබලෙන් ලිපට ඇද වැටිණ.

කෙසේ වුවත් ශිවම් ඩූබේ (46) සහ රියාන් පරාග් (25) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 66 ක සම්බන්ධතාවක් ගොඩනගමින් බිඳ වැටී තිබූ රාජස්ථාන් ඉනිමට නව ජවයක් එක් කළහ. පන්දු 32 කට මුහුණදුන් ඩූබේ හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින්ද, පන්දු 16 කට මුහුණදුන් පරාග් හතරේ පහර 4 කින්ද සිය ඉනිම් අලංකාර කළහ.

ඩූබේ සහ පරාග් දැවී යෑමෙන් අනතුරුව කඩුලු 6 කට ලකුණු 133 ක් ලෙස සටහන් වූ රාජස්ථාන් ඉනිම නියමිත ඕවර 20 නිමාවන විට කඩුලු 9 කට ලකුණු 177 ක් දක්වා ඔසවා තැබීමට වේගවත් පිතිහරඹයක නිරත වූ රාහුල් තේවතියා සමත් විය. අවසන් ඕවර කිහිපයේදී පන්දු 23 කින් ලකුණු 40 ක් රැස්කළ තේවතියාගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 177  
(සංජු සැම්සන් 21, ශිවම් ඩූබේ 46, රියාන් පරාග් 25, රාහුල් තේවතියා 40, මොහොමඩ් සිරාජ් 27/3, හර්ෂාල් පතේල් 40/3)

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 16.3 කදී කිසිවකු නොදැවී 181  
(විරාට් කෝලි නොදැවී 72, දෙව්දූත් පඩික්කල් නොදැවී 101)

 

 

 

-036


අදහස් (0)

පඩික්කාල්-කෝලි බැංගලෝර් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.