Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දුෂාන් හේමන්තට ගමන තව දුරද
දෙවැනි ටෙස්ට් තරගය

දුෂාන් හේමන්තට ගමන තව දුරද

editorial - 2023 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

ටෙස්ට් තරගයකදී තම 100 වැනි පළමු පෙළ කඩුල්ල දවාගැනීමේ බලාපොරොත්තු රඳවා සිටි දුෂාන් හේමන්තට ජාතික කණ්ඩායමේ හිස්වැස්ම දිනාගැනීම සඳහා තවත් ටික කාලයක් බලා සිටීමට සිදුව ඇති බව පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර හෙට (24 වැනිදා) ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා හිස්වැස්ම පැළඳීමට බලාපොරොත්තුවෙන් සිටි, 28 හැවිරිදි දකුණත් පා දඟ පන්දු යවන්නාගේ ස්ථානය ඊයේ සවස වන තුරුත් ස්ථිර වී නොතිබිණ.

“ජයග්‍රාහී කණ්ඩායමක් වෙනස් කරන්න අමාරුයි... ඒත් තවත් දේවල් කීපයක් ගැන අවසන් තීරණයක් ගන්න තියෙනවා” යයි ඊයේ පස්වරුවේදී පැවැති පුවත්පත් සාකච්ඡාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂිත වෙනස්කම සම්බන්ධයෙන් කළ විමසීමකදී පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවසීය.

අයර්ලන්තය වැනි පළපුරුද්දෙන් අඩු ටෙස්ට් කණ්ඩායමක් හමුවේ දුෂාන් හේමන්ත වැනි කෝඩුකාර පන්දු යවන්නකුට අවස්ථාවක් දීම තේරීම් කමිටුවේ අපේක්‍ෂාව වූ බව පුහුණුකරුවාට රහසක් නොවේ. එහෙත් ඔහු කතා කළේ කණ්ඩායමේ අපේක්‍ෂා ආරක්‍ෂා කරගනිමිනි.

“විශේෂයෙන්ම ජයග්‍රාහී කණ්ඩායමක් වෙනස් කරන්න අමාරුයි. මොකද පසුගිය තරගයේදී ඒ ගොල්ලන් හොඳින් සෙල්ලම් කළා. මා හිතන්නේ ඒක ඉතාමත් හොඳ, ක්‍රමවත් ක්‍රීඩාවක් කියලයි”

“පිතිකරුවන් හොඳින් ලකුණු ලබාගත්තා....ඒ වගේම පන්දු යවන්නන් වුණත් හොඳින්ම පන්දු යැව්වා... මා කියන්නේ වේග පන්දු යවන්නන් වගේම දඟ පන්දු යවන්නන් පවා. ඒ වගේ කණ්ඩායමක් වෙනස් කරන්න අමාරුයි...”

“අපට හිතන්න තව බොහෝ දේවල් තියෙනවා...” යයි පුහුණුකරු සිල්වර්වුඩ් මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය සතියේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අත්පත් කරගත් ඉනිමක සහ ලකුණු 280 ක ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ වසර 41 ක ටෙස්ට් ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය ද විය. එහෙත් එම තරගයේ ඉනිම දෙකේදීම ශ්‍රී ලාංකික වේග පන්දු යවන්නන් වූ විශ්ව ප්‍රනාන්දු (41/4) සහ අසිත ප්‍රනාන්දු (24/0) දෙදෙනාම යැවූයේ ඕවර 21 ක් පමණි. එයිනුත් අසිත ඉනිම දෙකේදීම යැවූයේ ඕවර 8 කි.

වේග පන්දු යවන්නන් ගාල්ල ක්‍රීඩාංගණයේදී අඩුවෙන් පන්දු යැවීම අරුම දෙයක් නොවේ. ගාල්ලේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන බොහෝ අවස්ථාවලදී වේග පන්දු යවන්නන් දෙදෙනකු යොදාගැනීම “තේරුමක් නැති තීරණයක්”බව බොහෝ විට පෙනෙන්නට තිබෙන කාරණාවකි.

2020 දශකයෙන් පසු කාලයේදී ගාල්ලේදී පැවැති ටෙස්ට් තරග 9 කදී වේග පන්දු යවන්නන් විසින් යවනු ලැබ ඇත්තේ ඕවර 172 කි. එනම් ඉනිම දෙකේදීම ඕවර 20 කටත් අඩු සංඛ්‍යාවකි. එම ටෙස්ට් තරග 9 දී දඟ පන්දු යවන්නන් විසින් යවන ලද ඕවර සංඛ්‍යාව 1172 කි. මෙම තරග 9 දී වේග පන්දු යවන්නන් කඩුලු 13 ක් දවාගන්නා විට දඟ පන්දු යවන්නන් විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 137 කි.

පළමු පෙළ කඩුලු 98 ක් දවාගෙන සිටින, බලාපොරොත්තු තැබිය හැකි පා දඟ පන්දු යවන්නකු වන දුෂාන් හේමන්තට ටෙස්ට් වරම් ලබාදීමට සූදානම් වූයේ එවන් පසුබිමකදීය. එබැවින් හෙට පෙරවරුවේදී නැවත වරක් සිතා බැලීමෙන් පසුව, වේග පන්දු යවන්නකු වන අසිත ප්‍රනාන්දුගේ ස්ථානය 28 හැවිරිදි දුෂාන් හේමන්තට ප්‍රදානය කළහොත් එය ද පුදුමයට කරුණක් නොවේ.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් 10 දෙනාම දෙවැනි තරගය සඳහාත් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටිති.

මේ වන විට ටෙස්ට් තරග 6 කදී කඩුලු 43 ක් දවාගෙන සිටින වමතින් පා දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය හෙට ඇරඹෙන තරගයේදී කඩුලු 7 ක් දවාගතහොත් අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවාගත් ශ්‍රී ලාංකිකයා වශයෙන් වාර්තා පොතට එක්වනු ඇත. මේ දක්වා ටෙස්ට් තරග 11 ක දී කඩුලු 50 ක් බැගින් දවාගෙන සිටින ඩිල්රුවන් පෙරේරා සහ රමේෂ් මෙන්ඩිස් එහි ශ්‍රී ලංකා වාර්තාවේ සම හිමිකරුවෝ වෙති.

අයර්ලන්තයේ වඩාත්ම පළපුරුදු පිතිකරුවා වන පෝල් ස්ටර්ලිං නැවතත් කණ්ඩායම හා එක්ව සිටී. පෝල් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 3 කට පමණක් වන නමුත් එක්දින තරග 145 කදී ශතක 13 ක් ද සමගින් ලකුණු 5259 ක් ලබාගත් ප්‍රබලතම පිතිකරුවෙකි.

අයර්ලන්ත පුහුණුකරු ගැරී විල්සන් මහතා කීවේ ඩකා ටෙස්ට් තරගයේදී ක්‍රීඩා කළ ග්‍රැහැම් හියුම් ද හෙට තරගයේදී කණ්ඩායමට එක්වන බවයි. හෙට තරගය හියුම්ගේ 100 වැනි පළමු පෙළ තරගය වන අතර ග්‍රැහැම්, මේ දක්වා ක්‍රීඩා කළ පළමු පෙළ තරග 99 දී කඩුලු 311 ක් දවාගත් වේග පන්දු යවන්නෙකි.

ඒ අනුව අයර්ලන්ත පිලේ වෙනස්කම් එකක් හෝ දෙකක් සිදුවිය හැකිය.
 
අයර්ලන්තය පුරාජේරු කතාවලින් තොර කණ්ඩායමකි. තමන්ට කළ හැකි දේ කුමක් ද කළ නොහැකි දේ කුමක්  ද යන්න ඔව්හු හොඳින් දනිති. එහෙත් පළපුරුදු ක්‍රීඩකයන් වෙත විශ්වාසය රඳවා ඇති අයර්ලන්ත කඳවුරේ හෙට දවසේ අපේක්‍ෂාව සිව්වැනි දිනයට හෝ ඉන් ඔබ්බට මෙම තරගය පවත්වාගෙන යාමයි.


ශ්‍රී ලංකා  සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), නිශාන්  මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම (කඩුලු රකින්නා), රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, දුෂාන් හේමන්ත, කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක සහ ලසිත් ඇඹුල්දෙණිය.

 
අයර්ලන්ත කණ්ඩායම

මරේ කොමින්ස්, ජේම්ස් මැකලම්, ඇන්ඩි බැල්බිරින් (නායක), හැරී ටෙක්ටර්, පී.ජේ. මුවර්, කර්ටිස් කැම්පර්, ලෝකන් ටකර් (කඩුලු රකින්නා), මාක් ඇඩෙයාර්, අන්ඩි මැක්බ්‍රයින්, ග්‍රැහැම් හූම්, පෝල් ස්ටර්ලිං සහ බෙන් වයිට්


අදහස් (0)

දුෂාන් හේමන්තට ගමන තව දුරද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.