Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිමුත්ගෙන් පිතිකරුවන්ට දෝෂාරෝපණ

දිමුත්ගෙන් පිතිකරුවන්ට දෝෂාරෝපණ

editorial - 2019 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, එංගලන්තයේ ඩර්හැම් සිට..)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 39 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය ඩර්හැම්හි රිවර්සයිඞ් ක්‍රීඩාංගණයේදී හෙට (01) පැවැත්වේ. දිවා තරගයක් වන මෙම තරගය එංගලන්ත වේලාවෙන් පෙරවරු 10.30 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.

එංගලන්තය ඉන්දියාවට එරෙහි තරගයෙන් ජය ලැබුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 ක් බවට පත්ව එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පත්වේ. පාකිස්තානකය ලබන සිකුරාදා බංග්ලාදේශයට එරෙහිව තරග කිරීමට නියමිත අතර එම තරගයෙන් පාකිස්තානය ජය ලැබුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් 11 ක් බවට පත්වේ.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාව මෙම තරගය සහ ඉන්දියාවට එරෙහිව අවසන් තරගය ජය ලබා ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 ක් බවට පත්කරගත්ත ද අවසන් පූර්ව වටයට පැමිණීමේ අවස්ථාවක් නැති තරම්ය. ශ්‍රී ලංකාව (-1.186) සෘණ ශූද්ධ ලකුණු වේගයක ද පසු වීම එයට බලපා තිබේ.  

අවසන් පූර්ව වටයට පැමිණීමේ බලාපොරොත්තු අහිමිවී සිටින බටහිර ඉන්දීය කොදෙව් පිල සහභාගි වූ තරග හතෙන් තරග පහක්ම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ නවවැනි ස්ථානයේ පසුවෙයි. මෙම තත්ත්වය මත අද තරගය දෙපිලටම ගෞරවය රැකගැනීමේ තරගයක් බවට පත්ව තිබේ.  

නුවන් ප්‍රදීප් අසනීප තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමත් සමඟ එම ස්ථානයට වේග පන්දු යවන කසුන් රාජිත ආදේශ කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්‍ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.  
ශ්‍රී ලංකා පිල ඊයේ පස්වරුවේ පුහුණු සැසියට සහභාගි වූ අතර දිමුත් කරුණාරත්න පැවසුවේ ශ්‍රී ලංකා පිලේ කඩා වැටීමට හේතුව පිතිකරුවන්ගේ දුර්වලතාව බවයි.

“ලෝක කුසලාන තරගාවලියේ මේ අසාර්ථකත්වයට පන්දුවට පහර දීමේ දුර්වලතාව ප්‍රධාන සාධකයක් බවට පත්වුණා. අපිට තරග පහකදී ශතකයක් රැස්කරන්න බැරි වුණා. අර්ධ ශතක කීපයක් විතරයි රැස්කළේ. අපිට ලකුණු පුවරුවට ලකුණු එකතු කරන්න බැරි වුණා”

“පන්දු යවන්නන් දස්කම් දැක්වුවා. නමුත් පිතිකරුවන් දස්කම් දැක්වුයේ නෑ. ඒකයි අපිට මෙහෙම වුණේ. අපිට තාමත් බැරි වෙලා තියෙනවා ලකුණු 250 ක් රැස්කරන්න. ලකුණු 200 හෝ 220 ක් ගහලා පන්දු යවන්නන්ට කියන්න බෑ මේක ආරක්‍ෂා කරන්න කියලා. පිතිකරුවන් වගකීම ගන්න ඕනේ”

“බටහිර ඉන්දීය කොදෙව් පිලේ වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවො රැසක් ඉන්නවා. ඒ වගේම හොඳ පන්දු යවන්නොත් ඉන්නවා. අපි ඔවුන්ගේ වීඩියෝ නරඹලා සැලසුම් කරලා තියෙනවා. අපි හොඳින් පන්දුවට පහර දීලා ලොකු ලකුණු සංඛ්‍යාවක් රැස්කළ හොත් ජය ගන්න පුඵවන්”

“ඉදිරි තරග දෙකේදී අපේ උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා”

ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව තරගයට පිවිසීමට තවමත් ඇති අවස්ථාව පිළිබඳව දිමුත් මෙසේ පැවසීය.
 “අපිට තාම අවස්ථාවක් තියෙනවා අවසන් පූර්ව තරගයට එන්න. නමුත් ඒ සෙසු කණ්ඩායම්වලට වෙන දේවල් සමගයි. අපිට පාලනය කරන්න පු`ඵවන් අපේ දක්‍ෂතා පමණයි”

“දකුණු අප්‍රිකානු තරගය ජය ලැබුව නම් අපිට ඉතිරි තරග දෙකත් ජය ලබා අවසන් පූර්ව තරගයට පහසුවෙන් එන්න තිබුණා. නමුත් දැන් අනෙක් කණ්ඩායම්වලට වෙන දේවල් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ. අපි එහෙම වෙන්න ඕන කණ්ඩායමක් නෙවෙයි”

කසුන් රාජිත අද තරගයට සහභාගි වන්නේද යන ප්‍රශ්නයට දිමුත් මෙසේ පිළිතුරු සැපයීය.
“වේග පන්දු යවන්නෙක් කණ්ඩායමෙන් ඉවත් වුණේ ඒ නිසා අපි වේග පන්දු යවන්නෙකු ලබා ගන්නවා. කසුන් අද තරගයට ක්‍රීඩා කරයිද කියලා දැම්ම කියන්න බෑ”

කොදෙව් පිල ඊයේ පෙරවරුවේ පුහුණු සැසියට සහභාගී වූ අතර පුහුණු සැසියට පෙර මාධ්‍ය හමුවට සහභාගි වෙමින් කොදෙව් පිලේ පුහුණුකරු ෆ්ලොයිඞ් රිෆර් මහතා පැවසුවේ ලෝක කුසලාන තරගාවලියෙන් පසුව කණ්ඩායමේ ඉදිරිය පිළිබඳව සැළසුම් කරන බවයි.

“ලෝක කුසලානයේ පළමු වටයෙන් අපි ඉවතට ගොස් දැන් අවසන්. නමුත් අපිට ඉදිරියේ සංචාර රැසක් තියෙනවා. අපි ඒ සඳහා ශක්තිමත්ව මුහුණ දීමට සූදානම් විය යුතුයි” යැයි පුහුණුකරු වැඩි දුරටත් පැවසීය.

 
ශ්‍රී ලංකා සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, කසුන් රාජිත, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස්


බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:
ජේසන් හෝල්ඩර් (නායක), ෆාබියන් ඇලන්, සුනිල් ඇම්බි්‍රස්, කාලෝස් බ්‍රැත්වේට්, ඩැරන් බ්‍රාවෝ, ෂෙල්ඩන් කොට්්‍රල්, ෂැනෝන් ගේබි්‍රයල්, ක්‍රිස් ගේල්, ශිම්රන් හෙට්මයර්, ෂායි හෝප්, ඒවින් ලෙවිස්, ඈෂ්ලී නර්ස්, නිකොලස් පූරන්, කීමර් රෝච් සහ ඔෂේන් තෝමස්

 


අදහස් (0)

දිමුත්ගෙන් පිතිකරුවන්ට දෝෂාරෝපණ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.