Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිමුත්-මධුෂ්ක-කුසල් ලකුණු සැණකෙළියේ
දෙවැනි ටෙස්ට් තරගය

දිමුත්-මධුෂ්ක-කුසල් ලකුණු සැණකෙළියේ

editorial - 2023 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයකදී, පළමු කඩුල්ල වෙනුවෙන් පැවැති හොඳම සම්බන්ධතාව ගොඩනඟමින් නව වාර්තාවක් පිහිටවූ දිමුත් කරුණාරත්න (115) සහ නිශාන් මධුෂ්ක (නොදැවී 145) දෙදෙනා අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී දරදඬු පිළිතුරකට පදනම දැමූහ. දිවා ආහාරයෙන් පසුව කුසල් මෙන්ඩිස් ද ලකුණු සැණකෙළියට එක්වූයෙන් තරගයේ තුන්වැනි දිනය වන අද (26 වැනිදා) තේ පානය අතරතුරදී ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 357 ක් ලබා සිටියේය.
 
අයර්ලන්තය සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 492 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව, කඩුලු 9 ක් අතැතිව, ලකුණු 135 ක් පසුපසින් සිටී.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 228 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනංවා තිබියදී, කර්ටිස් කැම්පර් යැවූ වේග පන්දුවක් දිමුත් කරුණාරත්නගේ හිස් ආවරණයේ වැදීම නිසා පිතිකරුවා තරමක් නොසන්සුන් විය. එයින් ප්‍රයෝජන ගත් කැම්පර්, දිගින් දිගටම පිතිකරුවා වෙත කෙටි පන්දු යවමින්, දිවා ආහාරයට පන්දු දෙකක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා පිලේ පළමු වැනි කඩුල්ල දවාගත්තේය.

විනාඩි 212 කට පසුව දිමුත් කරුණාරත්න දැවී යන විට වමත් පිතිකරුවා පන්දු 133 කට මුහුණ දෙමින් ඒවායින් 15 ක් හතරේ සීමාවට යවා තිබිණ. දිමුත්ගේ දැවී යාමෙන් පසුව නිශාන් මධුෂ්ක සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 83) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 129 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින්, ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට කැඳවාගෙන ගියහ.

තම තුන්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නිශාන් මධුෂ්ක, විනාඩි 330 ක් තුළදී, නොදැවී ලකුණු 149 ක් ලබා සිටියේ හතරේ පහර 18 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සරසාලමිනි. දිවා ආහාරයෙන් පසුවත් ඕවරයකදී ලකුණු 5.00 කට ආසන්න වේගයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා පිතිකරුවෝ උත්සුක වූහ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ විශේෂත්වය වූයේ ඔවුන් ලකුණු ලබාගත් වේගයයි. ලකුණු 50 - 100 - 150 - 200 - 250 - 300 සහ 350 කඩයිම් පසුකර ගිය සෑම අවස්ථාවකදීම ඊට සාපේක්‍ෂ ලකුණු සංඛ්‍යාවට වඩා අඩු විනාඩි ගණනක් ඒ වෙනුවෙන් ගතකර තිබිණ. තරගය නතර කරන විට ලබා සිටි ලකුණු 357 වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් වැයකර තිබුණේ ද විනාඩි 330 ක් පමණි.

දිමුත් අද ලබාගත්තේ ඔහුගේ 16 වැනි ටෙස්ට් ශතකය මෙන්ම ගාල්ල ක්‍රීඩාංගණයේදී ලබාගත් 6 වැනි ටෙස්ට් ශතකයයි. පන්දු 116 කින් පැමිණි දිමුත්ගේ ශතකය, ඔහුගේ ටෙස්ට් ශතක 16 අතරේ වේගවත්ම ටෙස්ට් ශතකය ද වූයේය. මීට පෙර දිමුත් ලබාගත් වේගවත්ම ටෙස්ට් ශතකය වසර 2021 දී දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග් නුවරදී පන්දු 123 කින් සම්පූර්ණ කළේය.

නිශාන් මධුෂ්ක සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත්තේ හැරී ටෙක්ටර් හමුවේ ගැසූ දැවැන්ත හයේ පහරකිනි. හැරී ටෙක්ටර්ගේ පළමු ඕවරයෙන් ලකුණු 11 ක් උදුරාගත් මධුෂ්ක, පන්දු 159 කදී සිය ශතකය සම්පූර්ණ කරන විට හතරේ පහර 14 ක්ද ඔහුගේ ඉනිමට ඇතුළත් වී තිබිණ.

දිමුත් සහ මධුෂ්ක දෙදෙනා අද සිය සම්බන්ධතාව ලකුණු 194 ක් කිරීමත් සමගම එය ගාල්ල ක්‍රීඩාංගණයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනකු පැවැත්වූ සාර්ථකම සම්බන්ධතාව ලෙසින් ද වාර්තා පොතට එක්විය. එහි පැරණි වාර්තාව වූයේ වසර 2000 දී ෂෝන් පොලොක්ගේ දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ මාවන් අතපත්තු සහ සනත් ජයසූරිය පළමු කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 193 ක සම්බන්ධතාවයයි.

එමෙන්ම අද පැවැති පළමු කඩුල්ලේ සම්බන්ධතාව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකදී පළමු කඩුල්ල සඳහා පැවැති පස්වැනි ද්විත්ව ශතක සම්බන්ධතාව ද වෙයි. ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනකු පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ වාර්තාගත ටෙස්ට් සම්බන්ධතාව වන්නේ වසර 2000 දී මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී මාවන් අතපත්තු (207) සහ සනත් ජයසූරිය (188) දෙදෙනා ගොඩනැංවූ ලකුණු 335 ක සම්බන්ධතාවයි.


අදහස් (0)

දිමුත්-මධුෂ්ක-කුසල් ලකුණු සැණකෙළියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.