Last Update  :  2025-08-13 12:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දින 5ක් කෙළින්සිටිය හැකි 11ක්සෙවිමේ අභියෝගය

දින 5ක් කෙළින්සිටිය හැකි 11ක්සෙවිමේ අභියෝගය

දමින්ද විජේසූරිය - 2021 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කණ්ඩායම් වල ක්‍රීඩකයන් දිගින් දිගටම ආබාධ වලට ලක්වීමේදී කළමණාකරුවන් ක්‍රීඩා පිටියට ගිය අවස්ථා ක්‍රිකට් ඉතිහාසයෙන් සොයාගත හැකිය. වරක් අසූව දශකයේදී ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත ‘ඒ’ කණ්ඩායමකට ක්‍රීඩකයන් මදිවීම හේතුවෙන් කණ්ඩායමේ කළමණාකරුවා වූ නෝමන් ගිෆර්ඞ් මහතාටත් සුදු ඇඳගෙන ක්‍රීඩා පිටියට පිවිසීමට සිදුවිය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේද එවැනිම තත්ත්වයකටය. අද (3 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ අභියෝගය වී ඇත්තේ දින 5 ක කාලයක් පිට්ටනියේ රැඳීසිටිය හැකි ක්‍රීඩකයන් 11 දෙනකු සොයාගැනීමයි.

දකුණු අප්‍රිකාවට ගිය ක්‍රීඩකයන් 21 දෙනාගෙන් මේ වන විට හත් දෙනෙක් විවිධ ආබාධයන්ට මුහුණ දී සිටිති. ආබාධ සහිත වූවත් වනිඳු හසරංග දෙවැනි ටෙස්ට් තරගයට යොදාගැනීම හැර විකල්පයක් නැති තැනට ශ්‍රී ලංකා කණ්ඩායම තල්ලු වෙමින් සිටී.

පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදීම ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 576 ක් ලබාගත් නමුත් ධනංජය ද සිල්වා, කසුන් රාජිත සහ ළහිරු කුමාර තුවාල ලැබීම හේතුවෙන් දකුණු අප්‍රිකානුවෝ පළමු ඉනිමේදී ලකුණු 621 ක් ලබාගත්හ. මෙම පන්දු යවන්නන් තිදෙනාම එක්ව යැවූයේ ඕවර 23.2 ක් පමණක් වූයෙන් ඉතිරි වූ පන්දු යවන්නන් වන වනිඳු හසරංග (ඕවර 45) සහ දසුන් ශානක දෙදෙනාට පන්දු යැවීමේ විශාල බරක් උසුළාගෙන යාමට සිදුවිය. එහි අනිසි ප්‍රතිඵලය වූයේ හසරංගත් තුවාලකරුවන්ගේ ලයිස්තුවට එක්වීමයි.

සිකුරාදා සවස ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කරන ලද විමසීමකදී දැනගත හැකිවූයේ පළමු ටෙස්ට් තරගටත් ක්‍රීඩා නොකළ සුරංග ලක්මාල්ට සහ පළමු තරගයේදී ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් දෙදෙනාටම දෙවැනි තරගය සඳහා ක්‍රීඩා කළ නොහැකි බවයි. දෙදෙනාම ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වී සිටින අතර වනිඳු හසරංග අද (සෙනසුරාදා) ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට මුහුණ දීමෙන් පසුව ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද දකුණු අප්‍රිකාවේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබේ.

පිතිකරු ඕෂධ ප්‍රනාන්දුගේ සහභාගිත්වයත් වැඩ උඩ තිබේ. යම් හෙයකින් ඕෂධ කණ්ඩායමට එක්වන්නේ නම් කුසල් පෙරේරා පිතිකරු ලයිස්තුවේ පහළට තල්ලු විය හැකිය. පෙරේරා වැනි පිතිකරුවකු පහළින් පැමිණෙන්නේ නම් ඔහු වටා සෙසු පිතිකරුවන්ට ඉනිම බැඳ තබාගත හැකිය. ධනංජය ද සිල්වාත් නොමැති බැවින් එවන් තත්ත්වයක් වඩාත් ප්‍රයෝජනවත් විය හැකිය.

ශ්‍රී ලංකා පිල මුහුණ දී සිටින වඩාත්ම තැතිගන්වන තත්ත්වය වන්නේ ශ්‍රී ලංකාවට ඉතිරි වී ඇත්තේ දඟ පන්දු යවන්නන් වන නමුත් තරගය පැවැත්වෙන්නේ ජොහැන්නස්බර්ග් හි වොන්ඩරාස් ක්‍රීඩාංගණයේදී වීමත්, දකුණු අප්‍රිකානුවන් මෑතකදී සොයාගත් තරුණ වේග පන්දු යවන්නන් මේ වන විටත් තම තමන්ගේ භූමිකා සඳහා මැනවින් ස්ථානගත වී සිටීමත්ය.

අන්තර්ජාතික ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව 6 වැනි ස්ථානයේ සිටින කගීසෝ රබාඩා නැවතත් දකුණු අප්‍රිකානු සංචිතයට එක්ව සිටින නමුත් ඔහුටත් කණ්ඩායමේ 11 දෙනාගේ ස්ථානය සොයාගැනීම අසීරු විය හැකි බව පුහුණුකරු මාක් බවුචර් මහතා කියයි. බවුචර් මහතාගේ මතය වන්නේ දින 5 ක ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට නම් ක්‍රීඩකයන් ශාරීරික යෝග්‍යතාව අතින් ඉහළම මට්ටමක සිටිය යුතු බවයි. වමතින් වේග පන්දු යවන බියුරන් හෙන්රික්ස් මෙන්ම තවමත් ටෙස්ට් වරම් ලබා නැති ග්ලෙන්ටන් ස්ටුවර්මන්ද දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත්ව සිටිති.

සෙන්චූරියන් තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දුව අතට ගත්තේ වසර ගණනාවකින් මෙපිට දකුණු අප්‍රිකාවෙන් පැමිණි අත්දැකීම් අඩුම පන්දු යවන්නන් පිරිසයි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 396 ක් ලබාගත් බවට කෙරෙන තර්කය සාධාරණ නොවේ. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පිතිකරු ලයිස්තුවට ආබාධ සහිතවූවන් දෙදෙනකු ඇතුළත්ව සිටි බවත්, ධනංජය ද සිල්වාගේ සේවය සම්පූර්ණයෙන්ම අහිමි වූ බවත් අමතක නොකළ යුතුය.

එවන් තත්ත්වයක් තිබියදීත්, අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් ඉනිම දෙකේදීම අසාර්ථකව සිටියදීත්, ශ්‍රී ලංකා පිතිකරුවෝ තරගයේදී ලකුණු 576 ක් ලබාගත්හ. එය සුබදායි ප්‍රවණතාවකි.

දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හැකි යයි අපේක්‍ෂිත ශ්‍රී ලංකා සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, වනිඳු හසරංග, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ඩිල්රුවන් පෙරේරා, ළහිරු තිරිමාන්න, සන්තුෂ් ගුණතිලක, අසිත ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය සහ මිනෝද් භානුක

දකුණු අප්‍රිකානු සංචිතය

ක්වින්ටින් ඩි‘කොක් (නායක), ඩීන් එල්ගා, ඒඞ්න් මාක්රම්, රාසි වැන්ඩර් ඩසන්, ෆෆ් ඩු‘ප්ලෙසි, ටෙම්බා බවුමා, වියාන් මල්ඩර්, කේෂව් මහාරාජ්, ඇන්රික් නෝයේ, ලුන්ගි න්ගිඩි, ලුතෝ සිම්පාලා, බියුරන් හෙන්රික්ස්, කගීසෝ රබාඩා සහ ග්ලෙන්ටන් ස්ටුවර්මන්

විනිසුරුවරු

මාරියස් එරැස්මස් සහ ඒඩි්‍රයන් හෝල්ඞ්ස්ටොක්

රූපවාහිනී විනිසුරු

අලවුදීන් පලේකාර්

තරග තීරක

ඇන්ඩි පයික්‍රොෆ්ට් (සිම්බාබ්වේ)


අදහස් (0)

දින 5ක් කෙළින්සිටිය හැකි 11ක්සෙවිමේ අභියෝගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.