Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන්ගේ පිලට ලකුණු 16 ක ජයක්

දසුන්ගේ පිලට ලකුණු 16 ක ජයක්

editorial - 2021 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ළහිරු මදුශංකගේ (නොදැවී 74) සහ චරිත් අසලංකගේ (නොදැවී 54) ශතක සම්බන්ධතාවය හේතුවෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති ආරාධිත විස්සයි20 තරගාවලියේ හයවැනි තරගය ලකුණු 16 කින් ජය ගැනීමට දසුන් ශානක නායකත්වය දරන ග්‍රේස් පිල සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ග්‍රේස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 167 ක් රැස් කිරීමට සමත්විය.

ලකුණු 45 කට කඩුලු 4 ක් දැවී තිබියදී පස්වැනි කඩුල්ල සඳහා එක්වූ චරිත් අසලංක සහ ළහිරු මදුශංක පන්දු 73 කදී ලකුණු 122 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් ග්‍රේස් පිල ලකුණු 150 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ ළහිරු මදුශංක පන්දු 39 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 74 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය. මදුශංකට අනගි සහයක් ලබාදුන් චරිත් අසලංක පන්දු 47 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 54 ක් ලබාගත්තේය.

බ්ලූස් පිලේ නායක ධනංජය ද සිල්වා පන්දු යැවීම සඳහා පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත්තද චරිත් අසලංක සහ ළහිරු මදුශංක මෙල්ල කිරීමට ඔවුන් අපොහොසත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය බ්ලූස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 151 ක් පමණි.

ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම සහ මැද පෙළ පිතිකරු අශේන් බණ්ඩාර බ්ලූස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කළද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ ඔවුන්ට පරාජය වැළඳ ගැනීමට සිදුවිය.

සධීර සමරවික්‍රම පන්දු 42 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 58 ක් රැස්කළ අතර අශේන් බණ්ඩාර පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 29 ක් රැස් කිරීමට සමත්විය.

නුවන් ප්‍රදීප් සහ දසුන් ශානක කඩුලු 2 බැගින් දවාගනිමින් ග්‍රේස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට දායක වූහ.

ග්‍රේස් පිල - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 167
(චරිත් අසලංක නොදැවී 54, ළහිරු මදුශංක නොදැවී 74)

බ්ලූස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 151
(සධීර සමරවික්‍රම 58, අශේන් බණ්ඩාර 29, නුවන් ප්‍රදීප් 22/2, දසුන් ශානක 24/2)


අදහස් (0)

දසුන්ගේ පිලට ලකුණු 16 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.