Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට තලති

දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට තලති

editorial - 2019 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

ලෝක කුසලාන තරගාවලියේදී දකුණු අප්‍රිකානුවන්ගේ මූලික බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්නා විට දුම්රිය පිටත්වී තිබිණ. ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 9 ක විශිෂ්ට ජයක් ලබාගත් නමුත් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා දකුණු අප්‍රිකානුවන්ට එය ප්‍රමාණවත් නොවේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විශේෂ අවසරයක් ලබාගනිමින්, කහ පැහැති වාසනාවන්ත බැනියමෙන් සැරසී පිටියට පිවිසියද, චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී අද (28 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා පිලට ලබාගත හැකිවූයේ ලකුණු 203 ක් පමණි. මෙම පහසු ඉලක්කය හඹා යාමේදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 175 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ෆෆ් ඩු’ප්ලෙසි (නොදැවී 96) සහ හසිම් අම්ලා (නොදැවී 80) දකුණු අප්‍රිකානු පිල ජයටැඹ කරා ගෙන ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකානු පිල හමුවේ එක දිගට මුහුණ දුන් හයවැනි පරාජය මෙයයි. මීට පෙර දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට 5-0 ක තරගාවලි පරාජයක් අත්විය.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්වට වටයට සුදුසුකම් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිලට යම් තරමක හෝ බලාපොරොත්තුවක් තිබුණේ නම් දකුණු අප්‍රිකානුවන් හමුවේ මුහුණ දුන් පරාජය හේතුවෙන් එයද ඈතට ගසාගෙන ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට දැන් ඉතිරිව තිබෙන එකම අවස්ථාව ඉතිරි තරග දෙකම විශාල පරතරයකින් ජයගනිමින්, ලකුණු වේගය මත අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමයි. එහෙත් එය කිසිසේත්ම පහසු අභියෝගයක් නොවේ.

පළමු පන්දුවේදීම නායක දිමුත් කරුණාරත්න දැවී යාමෙන් පසු පාදයට වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායමට හිස් ඔසවාගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ කිසිම අවසරයක් නොදුන්හ.

ශ්‍රී ලංකා පිතිකරුවන් මුහුණ දුන් පන්දු 297 න් පන්දු 187 ක්ම නිලකුණු පන්දු වූ අතර ඊට ප්‍රධාන හේතුව වූයේ තනි ලකුණු ලබාගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට තිබෙන නොහැකියාවයි. පන්දුවට මුහුණ දීමේ අවස්ථාව දෙදෙනා අතරේ හුවමාරු කරමින් තනි ලකුණු 80 ක් වත් (පන්දු 100 ක් නිදැල්ලේ යාමට ඉඩ දෙමින්) ලබාගත්තේ නම් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 280 ඉක්මවා යාමටත් එමගින් පන්දු යවන්නන්ට සටනක් දීමට ධෛර්යයක් ගොඩනැංවීමටත් ඕනෑතරම් අවස්ථාවක් තිබිණ.

28 වැනි ඕවරයේදීත් පන්දුවට පහර දෙමින් සිටි ධනංජය ද සිල්වා මුහුණ දුන් පළමු පන්දු 20 ටම ලබාගත්තේ ලකුණු 5 ක් පමණි. 37 වැනි ඕවරයේදී ධනංජය ලකුණු 19 කට දැවී යන විට මුහුණ දුන් පන්දු 41 න් පන්දු 26 ක් නිලකුණු පන්දු විය.

ජීවන් මෙන්ඩිස්ගේ තත්ත්වයද වෙනසක් නොවීය. 28 වැනි ඕවරයේදී පිටියට පිවිසෙන ජීවන් මෙන්ඩිස් පන්දු 23 කින් ලකුණු 2 ක් පමණක් ලබාගන්නේ පන්දු 21 ක් අපතේ හරිමිනි. හතරේ සීමාවෙන් එපිටට යාමට පන්දු 39 ක් බලා සිටි ජීවන් මුහුණ දුන් පන්දු 46 න් 37 ක්ම නිලකුණු පන්දු විය.

අනෙක් අතට ශ්‍රී ලංකා පිලේ මැද පෙළ පිතිකරුවන් ලකුණු අතර නොසිටීමත්, සම්බන්ධතාවක් ගොඩනැඟීගෙන එන අවස්ථාවේදීම කුමක් හෝ දුර්වල පහරකින් දැවී යාමත් ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන දුර්වලතාව වූයේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම පිතිකරුවකුට හෝ ලකුණු 30 ඉක්මවා යා නොහැකි විය. පිතිකරුවන්ට භීෂණ සමයක් නිර්මාණය කළ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නෝ කඩුලු 9 ක් බෙදාහදා ගත්හ.

..


අදහස් (1)

දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාවට තලති
  • isurandi Saturday, 29 June 2019 05:12 AM

    තැලුවේ නෑ .. වනසලාම දැම්මා ..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.