Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර ස්ටෝක්ස් පෙරමුණට

තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර ස්ටෝක්ස් පෙරමුණට

රොෂාන් ගුණරත්න - 2020 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම අනුව තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටෝක්ස් සමත්ව සිටී. කොදෙව් පිලට එරෙහිව මැන්චෙස්ටර්හිදී ලබාගත් ලකුණු 176 හේතුවෙන් ටෙස්ට් පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා ඉහළ පැමිණීමටද ස්ටෝක්ස්ට හැකිවී තිබේ. 

මැන්චෙස්ටර්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන විට ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරිම්හි තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණේ පසුවූ ජේසන් හෝල්ඩර්ට වඩා ප්‍රසාද ලකුණු 54 ක් පසු පසින් ස්ටෝක්ස් සිටියේය. නමුත් එම තරගයේදී ශතකයක් (176) සහ අර්ධ ශතකයක් (නොදැවී 78) මෙන්ම කඩුලු 3 ක් ද දවාගනිමින් එංගලන්ත කණ්ඩායමට ලකුණු 113 ක ජයක් අත්කරදීමට පුරෝගාමී වූ ස්ටෝක්ස්ගේ දස්කම් හේතුවෙන් ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමටද එංගලන්තයට හැකිවිය. මෙම තරගයෙන් පසුව හෝල්ඩර්ට වඩා ප්‍රසාද ලකුණු 38 ක් ඉදිරියට පැමිණීමට ස්ටෝක්ස් සමත් වූයේය. 

මාස 18 ක් පුරා ටෙස්ට් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරිමේ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණේ පසුවු ජේසන් හෝල්ඩර් පහළට ඇද දැමූ ස්ටෝක්ස්, වසර 14 කට පසුව එම ස්ථානයට පත් පළමු එංගලන්ත ජාතිකයා විය. 2006 දී ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් එම ස්ථානයේ සිටියේය. 

ප්‍රසාද ලකුණු 497 ක් ලබාගක් ස්ටෝක්ස්, 2008 අප්‍රේල් මාසයේදී ජැක් කලිස් විසින් ප්‍රසාද ලකුණු 517 ක් ලබාගැනීමෙන් පසුව සියළුම තුන්ඉරියව් ක්‍රීඩකයින් අතරින් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා බවටද පත්විය. ප්‍රසාද ලකුණු 827 ක් ලබාගනිමින් ටෙස්ට් පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි බෙන් ස්ටෝක්ස්, ඕස්ටේ්‍රලියාවේ මානස් ලබුස්චේන් සමගින් සම ස්ථානයේ පසුවන්නේය.

ඕස්ටේ්‍රලියාවේ ස්ටීවන් ස්මිත් ප්‍රසාද ලකුණු 911 ක් සහ ඉන්දියාවේ විරාට් කෝලී ප්‍රසාද ලකුණු 886 ක් ලබාගනිමින් බෙන් ස්ටෝක්ස්ට සහ මානස් ලබුස්චේන්ට වඩා ඉදිරියෙන් සිටිති. නවසීලන්තයේ කේන් විලියම්සන් ප්‍රසාද ලකුණු 812 ක් සහ පාකිස්තානයේ බාබර් අසාම් ප්‍රසාද ලකුණු 800 ක් ලබාගනිමින් ඔවුන් පසුපසින් සිටිති.

කොදෙව් පිලට එරෙහිව පළමු තරගයට තෝරා නොගත් ස්ටුවර්ට් බ්‍රෝඞ් දෙවැනි තරගයේ ඉනිමකදී කඩුලු 3 බැගින් දවාගනිමින් ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරිම්හි පන්දු යවන්නන් අතර හොඳම 10 දෙනාට එක්වූයේය. මේ වනවිට ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින්ම සිටින එංගලන්ත පන්දු යවන්නා වශයෙන් ස්ටුවර්ට් බ්‍රෝඞ් සිටින අතර දෙවැනි ටෙස්ට් තරගයේදී විවේක ගැන්වූ ජේම්ස් ඇන්ඩර්සන් ඔහුට වඩා එක් ස්ථානයක් පසුපසින් සිටින්නේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න 14 වැනි ස්ථානයේ සිටින අතර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණු 620 ක් ලබා සුරංග ලක්මාල් 21 වැනි ස්ථානයේ පසුවන්නේය. තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි හොඳම ක්‍රීඩකයින් 20 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවස්ථාවක් හිමිවී නොමැත.

-2079


අදහස් (0)

තුන්ඉරියව් ක්‍රීඩකයන් අතර ස්ටෝක්ස් පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.