Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තීක්‍ෂණ - වනිඳු ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමක
ශ්‍රී ලංකා/අයර්ලන්ත තරගය

තීක්‍ෂණ - වනිඳු ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමක

editorial - 2022 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මහීෂ් තීක්‍ෂණ (19/2) සහ වනිඳු හසරංග (25/2) දෙදෙනා කළ ප්‍රදර්ශනාත්මක පන්දු යැවීම නිසා හොබාර්ට් නුවරදී අද (23 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී අයර්ලන්ත ක්‍රීඩකයෝ ඕවර 20 කදී ලකුණු 128 කට සීමා වූහ. ඉනිමේ පළමු ඕවර 10 න් ලකුණු 60 ක් පමණක් ලබාගත් අයර්ලන්තයට ඉතිරි ඕවර 10 න් ලබාගත හැකිවූයේ තවත් ලකුණු 68 ක් පමණි.

ආරම්භයේදී තරමක ප්‍රහාරයට ලක්වූ වනිඳු හසරංගගේ ඕවර 3 කින් ලකුණු 22 ක් ලබාගැනීමට අයර්ලන්ත පිතිකරුවන් සමත් වූ නමුත්, විස්සයි-20 තරග සඳහා දැනට ලෝකයේ සිටින විශිෂ්ටතම පා දඟ පන්දු යවන්නන් දෙදෙනාගෙන් අයකු තමන් යයි තවත් වරක් තහවුරු කළ හසරංග, සිය ඕවර 4 නිමා කළේ අවසන් ඕවරයේදී ලකුණු 03 කට කඩුලු දෙකක් දවාගනිමිනි. මෙම කඩුලු දෙකම දවාගැනීම සඳහා පිටියේ ඈත කෙළවරේ සිටි චාමික කරුණාරත්න ඉතාමත් අගනා  උඩපන්දු දෙකක් රැකගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයේදී සහභාගි වන පළමු වැනි තරගය මෙයයි. අයර්ලන්තය සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේ විස්සයි-20 ලෝක කුසලානය දෙවරක් ජයගත් ලෝකයේ එකම කණ්ඩයම වන බටහිර ඉන්දීය කොදෙව් පිල තරගාවලියෙන් ඉවතට ඇද දමමිනි.

තම පළමු පන්දුවේදීම අයර්ලන්ත නායකයා වන ඇන්ඩෲ බැල්බිරින් පිටියෙන් ඉවත් කළ ළහිරු කුමාර, ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට කැඳවාගෙන ආවේය. මහීෂ් තීක්‍ෂණ හමුවේ ලෝකන් ටකර් දැවී ගියද පෝල් ස්ටර්ලිං ලකුණු වේගය වැඩිකිරීමට උත්සාහ ගත්තේය.  
10 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී, බැක්වර්ඩ් පොයින්ට් හි සිටි චරිත් අසලංක අති විශිෂ්ට ආකාරයෙන් රැකගත් උඩපන්දුව නිසා කර්ටිස් කැම්පර් දැවී ගියේය. ඉනිමේ අඩක් නිමාවී තිබුණද ලකුණු වේගය 6.00 මායිමේ රැඳී තිබිණ.

අයර්ලන්තය වෙනුවෙන් පෝල් ස්ටර්ලිං (34) සහ හැරී ටෙක්ටර් (45) සාධාරණ ලකුණු ලබාගත් නමුත් සෙසු පිතිකරුවන් සියලු දෙනාවම පාලනය කරගනිමින්, ඔවුන් වෙත එල්ල වූ පිීඩනය එන්න එන්නම වැඩි කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. 9 වැනි ඕවරයේදී ධනංජය ද සිල්වා විසින් හැරී ටෙක්ටර් දවාගැනීමෙන් පසුව අයර්ලන්ත පිතිහරඹයේ ජවය සිඳී ගියාක් මෙන් විය.

අයර්ලන්ත ඉනිමේ අග්ගිස්සේ ඕවර 4 ලකුණු 24 කට සීමාකරගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එම කාලය ඇතුළත කඩුලු 4 ක් දවාගත්හ.


අදහස් (0)

තීක්‍ෂණ - වනිඳු ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.