Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තියුණු සටනක බලාපොරොත්තුවක්

තියුණු සටනක බලාපොරොත්තුවක්

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටු පුරයෙන් සිරිලක ක්‍රිකට් අඹරට පායා ආ තරු බොහෝය. 60 දශකයේදී ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටිිය දෙවනත් කළ දුලිප් මෙන්ඩිස් - ඩී. එස්. ද සිල්වා යුගයේ සිට 2018 පාසල් ක්‍රිකට් පිටිය සිය අණසකට නතුකරගෙන සිටින ප්‍රවීන් අබේවික්‍රම, නුවනිඳු ප්‍රනාන්දු සහ විශ්ව චතුරංග දක්වාම එහි වෙනසක් නැත.

මේ සියලු දෙනාගේ දස්කම් දැකබලාගත හැකි මොරටු මහ රන් හටන හෙට සහ අනිද්දා (9 සහ 10) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මොරටුවේ පිහිටි ප්‍රබලතම පාසල් දෙකක් වන මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයත් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයත් අතර පැවැත්වෙන මොරටු රන් හටනේ 68 වැනි ගැටුම මෙයයි.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් වාරයේදී තරග 18 කට සහභාගි වූ  ඇති අපරාජිත කණ්ඩායමකි. තරග 3 කදී පූර්ණ ජයග්‍රහණ අත්කරගත් ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ විසඳුමකින් තොරව නිමාවූ තරග 15 න් 8 කදීම මුල් ඉනිමේ ජයග්‍රහණ අත්කරගත්හ.

වේල්ස් කුමර විදුහල තරග 16 කට සහභාගි වී තරග 7 ක් ජයගෙන තිබේ. තරග දෙකක් පරාජය වූ නමුත් ජය පැරදුමෙන් තොරව නිමාවූ තරග 7 න් තරග 5කදී මුල් ඉනිමේ ජයග්‍රහණ වාර්තා කර ඇත.

අපරාජිත කණ්ඩායම වන ශාන්ත සෙබස්තියන් පිල මෙහෙයවීමේ වගකීම තරූෂ ප්‍රනාන්දුට හිමිව තිබේ. ඉදිරිපෙළ පිතිකරුවකු වන තරූෂ මෙම පාසල් ක්‍රිකට් වාරයේදී ලකුණු 1000 පසුකළ දෙවැනි පිතිකරුවාද විය.

පන්දු යැවීමෙන් කඩුලු 35 ක්ද දවාගෙන සිටින තරූෂට අමතරව සෙබස්තියන් පිතිකරු ලයිස්තුවේ විශ්වාසය හැකි තවත් පිතිකරුවෝ සිටිති. ඔවුන් අතුරින් නිශිත අභිලාෂ් (650) සහ ශනෙල් ප්‍රනාන්දු (575) දෙදෙනාම මෙම පාසල් ක්‍රිකට් වාරයේදී පිත්තෙන් හොඳ දස්කම් දැක්වූවෝ වෙති.

ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් දිගින් දිගටම ක්‍රීඩා කළ හෙයින් ප්‍රවීන් ජයවික්‍රම සහ නුවනිඳු ප්‍රනාන්දු දෙදෙනාට ක්‍රීඩාකළ හැකිවූයේ පාසල් තරග අතළොස්සකට පමණි. ඉතාමත් දීප්තිමත් අනාගතයක් හිමි  ප්‍රවීන් ජයවික්‍රම වඩා ගොඩනැඟෙන සෙබස්කතියන් පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් එකකි.

වේල්ස් කුමර කණඩායම මෙහෙයවීමේ වගකීම මහත් බලාපොරොත්තු තැබිය හැකි පන්දු යවන්නකු වන සවිඳු පීරිස්ට පැවරී තිබේ. මේ වන විට සිය කඩුලු මල්ල 98 ක් දක්වා බරකරගෙන සිටින සවිඳු පීරිස්ගේ අරමුණ මහ තරගයේදී ඉතිරි කඩුලු දෙකත් දවාගනිමින් ද සොයිසා ක්‍රීඩාංගණයේ සිටින වේල්ස් කුමර කුමරියන්ට ජයඝෝෂා කිරීමේ වැඩිපුර අවස්ථාවක් දීමයි.

පසුගිය වසරේදී වේල්ස් කුමර විදුහල් පිල මෙහෙයවූ විශ්ව චතුරංග 17 වැනි වියේ සිටම ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ඉතා අවසනාවන්ත ලෙසින් මෙවර ලෝක කුසලාන තරගාවලිය ඔහුට අහිමි වූවත් එහි වාසිය වේල්ස් කුමර විදුහල් පිලට ලැබිණ. මෙවර පාසල් ක්‍රිකට් වාරයේදී චතුරංගගේ පිත්තෙන් ගලා ආ ලකුණු සංඛ්‍යාව 850 ඉක්මවයි. අවිඳු ප්‍රනාන්දු සහ සඳුන් ප්‍රනාන්දු දෙදෙනාත්  මෙම තරගවාරයේදී පිත්තෙන් ලකුණු 600 ඉක්මවූ ක්‍රීඩකයෝ වෙති.

වේල්ස් කුමර පන්දු යැවීම ගොඩනැඟෙන්නේ වමත් දකුණත් දඟ පන්දු යවන්නන් දෙදෙනකු වන සවිඳු පීරිස් සහ කෞමාල් නානායක්කාර දෙදෙනා වටාය. මේ දෙදෙනා එක්ව මෙවර පාසල් තරගවාරයේදී බිම දැමූ කඩුලු සංඛ්‍යාව 172 කි. ආරම්භක වේග පන්දු යවන්නන් දෙදෙනා වන නදූක ප්‍රනාන්දු සහ අවිඳු ප්‍රනාන්දු බලාපොරොත්තු තැබිය හැකි පන්දු යවන්නෝ වෙති.

මෙතෙක් පැවැති මහ තරග 67 දී වේල්ස් කුමර විදුහල තරග 6 ක් ජයගෙන ඇති අතර ශාන්ත සෙබස්තියන් විදුහල තරග 3 ක් ජයගෙන තිබේ. මොරටු රන් හටනේ අවසන් වරට විසඳුමක් ලැබුණේ 2011 දී සනිත ද මැල්ගේ නායකත්වයෙන් ශාන්ත සෙබස්තියන් පිල ජයගැනීමෙනි.

 

ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම
තරූෂ ප්‍රනාන්දු (නායක), ප්‍රවීන් අබේවික්‍රම (උප නායක), නුවනිඳු ප්‍රනාන්දු, මලින්ත පීරිස්, තාෂික් පෙරේරා, ප්‍රවීන් කුරේ, විනූජ රණසිංහ, ගිහාන් සේනානායක, ජනිෂ්ක පෙරේරා, ශනෙල් ප්‍රනාන්දු, නිෂිත අභිලාෂ්, දුලාජ් සිල්වා, නදීර ප්‍රනාන්දු, ළහිරු ප්‍රනාන්දු, නිකිල් ප්‍රනාන්දු සහ සුඛිත ප්‍රසන්න
ඉමල් බොතේජු මහතා (පුහුණුකරු), තරංග සිල්වා මහතා (සහාය පුහුණුකරු), ෆ්‍රෑන්ක් කුරේ මහතා (කණ්ඩායම භාර ආචාර්ය), ගරු පියාන් තිසේරා පියනම (ක්‍රීඩා පාලක), ගරු රංජිත් අන්ද්‍රාන්දි පියනම (අධ්‍යක්‍ෂක විදුහල්පති)

වේල්ස් කුමර විදුහල් කණ්ඩායම
සවිඳු පීරිස් (නායක), අවිඳු ප්‍රනාන්දු, විශ්ව චතුරංග, සනෝජ් දර්ශික, සුවත් මෙන්ඩිස්, දේවක පීරිස්, කෞමාල් නානායක්කාර, ප්‍රින්ස් ප්‍රනාන්දු, නදූක ප්‍රනාන්දු, සඳුන් ප්‍රනාන්දු, විනූජ රන්පුල්, කාවින්ද ඩිල්ෂාන්, රෂේන් ප්‍රනාන්දු, රවීන් පීරිස්, ෂෙහාන් අවිශ්ක සහ කුංචන පෙරේරා
කල්ප ප්‍රනාන්දු මහතා (පුහුණුකරු), අසේල පෙරේරා මහතා (සහාය පුහුණුකරු), චතුර මෙන්ඩිස් මහතා (කණ්ඩායම භාර ආචාර්ය), වජිර අබේසිංහ මහතා (ක්‍රීඩා පාලක), කුසල ප්‍රනාන්දු මහතා (විදුහල්පති)


අදහස් (0)

තියුණු සටනක බලාපොරොත්තුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.