Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජෝ රූට්ගෙන් සියවැනි තරගයේදී ශතකයක්

ජෝ රූට්ගෙන් සියවැනි තරගයේදී ශතකයක්

editorial - 2021 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තමන්ගේ සියවැනි ටෙස්ට් තරගය ශතකයකින් සැමරූ එංගලන්ත නායක ජෝ රූට් (නොදැවී 128) සහ ඩොමිනික් සිබ්ලි එක්ව චෙන්නායි නුවරදී ඊයේ (5 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදීම එංගලන්ත කණ්ඩායම ස්ථාවර ස්ථානයක් කරා කැඳවාගෙන ගියහ. තරගයේ පළමු දිනය වූ ඊයේ (5 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 263 ක් ලබා සිටියේය.

චෙන්නායි නුවර, එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායකයා කිසිම පැකිලීමකින් තොරව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ සිව්වැනි ඉනිමේදී පන්දුවට පහර දීමේ අවදානමෙන් මිදෙමිනි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ජෝ බර්න්ස් සහ ඩොමිනික් සිබ්ලි එක්ව පළමු කඩල්ල වෙනුවෙන් ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් පන්දු 6 ක් ඇතුළත පිතිකරුවන් දෙදෙනකුම දැවී යාම හේතුවෙන් එංගලන්ත කඳවුර තරමක් සසළ විය. එහෙත් එතැන් සිට තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක අති විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ රූට් සහ ඩොමිනික් සිබ්ලි දෙදෙනා තරගයේ වාසිය ඉන්දීය පිලෙන් ඉවතට ඇදගෙන ගියහ.

විනාඩි 382 ක් පුරා කඩුල්ල රැකගත් සිබ්ලි ලකුණු 87 දී ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ දැවී ගියද පුදුමාකාර ඉවසීමක් පෙන්නුම් කරමින් පන්දු 286 කින් 12 ක් පමණක් හතරේ සීමාවට යැවීය. සිබ්ලි දැවී ගියේ අද දිනයේ යැවූ අවසන් පන්දුවෙනි.

අඩි 6 කුත් අඟලක් උස රූට් තමන්ගේ දිගු පාද මැනවින් ප්‍රයෝජනයට ගනිමින් පන්දු 197 කින් නොදැවී ලකුණු 128 ක් ලබාගත්තේ හතරේ පහර 14 කින් සහ හයේ පහරකින් සිය ඉනිම අලංකාර කරමිනි. එංගලන්ත නායකයා සහභාගි වූ අවසන් ටෙස්ට් තරග තුනේ පළමු ඉනිම තුනේදී ඔහුගේ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ 228, 186 සහ නොදැවී 128 ක් ලෙසිනි. එයින් ශතක දෙකක් ශ්‍රී ලංකා පිලට එරෙහිවය.

සිය 20 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමත් සමගම ජෝ රූට් ගුවනට පැන සතුට සමරද්දී ඉන්දීය නායක විරාට් කෝලි අත්පොළසන් දෙමින් ඔහුට සුබ පැතීය. දෙවැනි ලෝක යුද්ධයේ වීරයකු වන කපිතන් ටොම් මුවර්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකළ එංගලන්ත ක්‍රීඩකයෝ අද තරගය සඳහා පිටියට පිවිසියේ කළු පටියක් බැඳගනිමිනි.


එංගලන්තය පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 263
(ජෝ බර්න්ස් 33, ඩොමිනික් සිබ්ලි 87, ජෝ රූට් නොදැවී 128, ජස්ප්‍රීට් බුම්රා 40/2, රවිචන්ද්‍රන් අශ්වින් 68/1)

- 213

 


අදහස් (0)

ජෝ රූට්ගෙන් සියවැනි තරගයේදී ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.