Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජය පරාජය නොපෙනෙන ඉසව්වක

ජය පරාජය නොපෙනෙන ඉසව්වක

editorial - 2021 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

---------------------
දමින්ද විජේසූරිය
---------------------

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 322 ක විශිෂ්ටවූත්, අඛණ්ඩවූත්, වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැංවූ දිමුත් කරුණාරත්න (නොදැවී 234) සහ ධනංජය ද සිල්වා (නොදැවී 154) කිසිදු අපහසුතාවකින් තොරවම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයේ අවදානමෙන් මුදවාගත්හ. මෙම පිතිකරුවන් දෙදෙනාගේ ආකස්මික පිතිහරඹයත්, ධෛර්යවත් ක්‍රීඩා රටාවත් හේතුවෙන් මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 512 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 කට ලකුණු 541 ක් ලබා සිය ඉනිම අත්හිටුවීය. ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තිබූ මූලික ඉලක්කය වූයේ ලකුණු 342 ක් ලබා ගනිමින් පිට පිටම පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමයි. එහෙත් කිසිම ආකාරයකින් සසළ නොවූ ශ්‍රී ලංකා පිතිකරුවෝ සිව්වැනි දිනය අවසන් කළේ, කඩුලු 7 ක්ම අතැතිව, බංග්ලාදේශයට ලකුණු 29 ක් ආසන්නයෙන් හිඳිමිනි.

මන්දාලෝකය නිසා තරගය දෙවැනි වතාවට නතර කිරීමෙන් පසුව යළි ක්‍රීඩාව ආරම්භ නොකිරීමට විනිසුරුවරුන් වන කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ යන මහත්වරු තීරණය කළහ. මේ වන විටත් මෙම තරගයේ ජය හෝ පරාජය නොපෙනෙන ඈතකට ගොස් තිබේ. ඊට ප්‍රධාන සාධකය වූයේ බංග්ලාදේශ කණ්ඩායම තමන්ගේ පළමු ඉනිම තරගයේ තුන්වැනි දිනය දක්වා දීර්ඝ කිරීමයි.

දිමුත් සහ ධනංජය දෙදෙනා අද සවස් වන විට ගොඩනංවා තිබූ අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 322 කි. එය ලෝක ටෙස්ට් ඉතිහාසයේදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතා අතර 13 වැනි හොඳම සම්බන්ධතාවයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පැවැති සිව්වැනි කඩුල්ලේ හොඳම සම්බන්ධතාව ලකුණු 437 කි. වසර 2009 දී, (ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්වීමට පෙර තරගයේදී) පාකිස්තානයට එරෙහිව කරච්චි නුවරදී ගොඩනැංවුණු එම සම්බන්ධතාවේ හිමිකරුවෝ මහේල සහ තිලාන් සමරවීර වෙති.
 
ටස්කින් අහමඩ්ගේ ඕවරයකදී පන්දු දෙකක්ම හතරේ සීමාවට යැවූ දිමුත් කරුණාරත්න සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය සම්පූර්ණ කළේය. විනාඩි 387 කින් පැමිණි දිමුත්ගේ ද්විත්ව ශතකයට අලංකාර හතරේ පහර 21 ක් ඇතුළත්ව තිබිණ. ටෙස්ට් තරග 70 කට සහභාගි වී ඇති ශ්‍රී ලංකා නායකයා මේ දක්වා ටෙස්ට් ශතක 10 ක් සහ අර්ධ ශතක 25 ක් ලබා සිටී. හෙට දිනයේ තවත් ලකුණු 18 ක් ලබාගත හැකි වුවහොත් (ලකුණු 252 දී) ටෙස්ට් ලකුණු 5000 කඩයිම ඉක්මවා යාමට දිමුත් කරුණාරත්නට හැකිවනු ඇත.

තයිජුල් ඉස්ලාමේගේ පන්දුවක් මිඩ් විකට් කලාපය හරහා හතරේ සීමාවට යැවූ ධනංජය ද සිල්වා 150 වැනි ලකුණත් ලබාගත්තේය. එය ඔහුගේ 20 වැනි හතරේ පහර විය. ධනංජයගේ හොඳම ටෙස්ට් ඉනිම ලකුණු 173 ක් ලෙසින් සටහන් වන අතර මේ වන විටත් විනාඩි 345 ක් පිටියේ සිටිමින් බංග්ලාදේශ පන්දු යැවීමේ හැඩරුව හඳුනාගෙන සිටින ධනංජයට සිය ද්විත්ව ශතකය කරා යාමේ හොඳ අවස්ථාවක් තිබේ. ඔහු සිය හත්වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේ ටස්කින් අහමඩ් හමුවේ අලංකාර පුල් පහරක් ගසමිනි.

බංග්ලාදේශ නායක මොමිනුල් හක් ද පන්දුව අතට ගෙන ඕවරයක් පමණක් යවමින් තණතීරුවේ ස්වභාවය එයින්ම වටහා ගත්තේය. එතැන් සිට පැවැතියේ සිය පන්දු යවන්නන් වෙහෙසට පත් නොකර, හැකි ආකාරයෙන් ඔවුන්ගෙන් කඩුල්ලක් දවාගැනීමේ උත්සාහයකි.


(ඡායාරූප - ඒ.එෆ්.පී.)

 


අදහස් (0)

ජය පරාජය නොපෙනෙන ඉසව්වක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.