Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගෝලීය විස්සයි 20 ශූරතාව වැන්කවර් නයිට්ස්ට

ගෝලීය විස්සයි 20 ශූරතාව වැන්කවර් නයිට්ස්ට

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාද් බින් සෆාර්ගේ තුන් ඉරියව් දක්ෂතාවයත්, ෂෙල්ඩන් කොට්රල්ගේ සහ ෆවාඞ් අහමඞ්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ බටහිර ඉන්දීය කොදෙව් ‘බී’ කණ්ඩායමට එරෙහිව පැවැති ගෝලීය විස්සයි 20 අවසන් මහ තරගයෙන් කඩුලු 7 ක ජයක් ලැබූ ක්‍රිස් ගේල්ගේ නායකත්වයෙන් යුතු වැන්කවර් නයිට්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට ඊයේ (15) සමත් විය.

ලකුණු 146 ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි වැන්කවර් නයිට්ස් කණ්ඩායම ඕවර 17.3 කදී කඩුලු 3ක් පමණක් දැවී සිය ඉලක්කය පහසුවෙන්ම සපුරා ගත්තේය.

වැන්කවර් නයිට්ස් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණු 22 කට නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට බටහිර ඉන්දීය කොදෙව් ‘බී’ කණ්ඩායමේ පන්දු යවන්නන්ට හැකියාව ලැබුණි. දෙවැනි හා තෙවැනි කඩුල්ල සඳහා පිටියට පිවිසි රාසී වැන්ඩර් ඩුසේන් සහ සාද් බින් සෆාර්ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් සිය ඉලක්කය පහසුවෙන්ම සපුරා ගනිමින් ආරම්භක තරගාවලියේදී සිය ශුරතාවය දිනා ගත්හ.

දක්ෂ පිතිහරඹයක නිරත වූ සාද් බින් සෆාර් පන්දු 48 කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 79 රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත කැඳවා ගියේය. ඔහුට මනා සහයක් ලබාදුන් රාසී වැන්ඩර් ඩුසේන් පන්දු 41 කදී හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 44 ක් රැස් කිරිමට සමත් විය. පන්දු යැවිමේදී ද්‍රෙවල් ග්‍රීන් ඕවර 3 අවසානයේ ලකුණු 20 කට කඩුලු 2 ක් බිඳ හෙළීය.

වැන්කවර් නයිට්ස් කණ්ඩාමේ ඇරයුමින් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ‘බී’ කණ්ඩායටම ඕවර 17.4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 145 පමණි.

බටහිර ඉන්දීය කොදෙව් ‘බී’ කණ්ඩායමේ ෆැබියන් ඇලන්(41) හැරෙන්නට වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව අභිබවා යාමට අවස්ථාවක් හිමි නොවීය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ වැන්කවර් නයිට්ස් කණ්ඩායමේ ශේල්ඩන් කොට්රල් ලකුණු 29 කට කඩුලු 4ක් සහ ෆවාඞ් අහමඞ් ලකුණු 24 කට කඩුලු 3 ක්ද බිඳ හෙළමින් දක්ෂතා දැක්වූහ.

ශ්‍රී ලංකාවේ හා කැනඩාවේ ද්විත්ව පුරවැසියන් වන රුවිඳු ගුණසේකර සහ ශ්‍රීමන්ත විජේරත්න ජයග්‍රාහී වැන්කවර් නයිට්ස් කණ්ඩායම නියෝජනය කළද, අවසන් තරගය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි නොවීය.

කණ්ඩායම් 6 කගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු මොන්ට්‍රීල් ටයිගර්ස් කණ්ඩායමද නියෝජනය කළේය. ලසිත් මාලිංග සුපුරුදු දක්ෂතා අතරට පැමිණියද, සෙසු ක්‍රීඩකයන් දක්ෂතා අතරට නොපැමිණිම නිසා තරගාවලියේ අවසානය තෙක් ගමන් කිරීමට හැකියාව නොලැබුණි.

සාද් බින් සෆාර් අවසන් තරගයේ වීරයා සම්මානය දිනා ගනිද්දී, විනිපෙග් හොව්ක්ස් කණ්ඩාමේ ලෙන්ඞ්ල් සිමන්ස් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය.  

 

- 024

 


අදහස් (0)

ගෝලීය විස්සයි 20 ශූරතාව වැන්කවර් නයිට්ස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.