Last Update  :  2025-08-03 21:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගාල්ල ක්‍රීඩිකාවෝ ශූරතාව දිනති
අන්තර් පළාත් බාලිකා යොවුන් ලීගය

ගාල්ල ක්‍රීඩිකාවෝ ශූරතාව දිනති

editorial - 2025 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා යොවුන් අන්තර් පළාත් (බාලිකා) ලීග්  විස්සයි-20 තරගාවලියේ ශූරතාව ගාල්ල කණ්ඩායම විසින් දිනා ගන්නා ලදි. පසුගිය වසරේදීත් මෙම තරගාවලියේ ශූරතාව දිනාගන්නා ලද්දේ ගාල්ල පිල විසිනි. 

කොළඹ එන්.සී.සී. පිටියේදී අද (29 වැනිදා) පැවැති අවසන් තරගයේදී ගාල්ල පිල විසින් කොළඹ පිලට එරෙහිව ලකුණු 90 ක පහසු ජයක් වාර්තා කරන ලදි. 

අවසන් තරගයේදී කාසියේ වාසිය හිමිකරගනිමින් පළමුව පන්දුවට පහරදුන් ගාල්ල පිල තම ඉනිම වෙනුවෙන් ඕවර 20 කදී කඩුලු 3ක් දැවී ලකුණු 143 ක් රැස් කළේය. දක්ෂ පිතිහරඹයක නියැළුණු නෙතඟි ඉසුරාංජලී පන්දු 65 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 77ක් ලබාගත්තාය. නෙතඟිට අගනා සහායක් දුන් ඇයගේ සොහොයුරිය රශ්මි නේත්‍රාංජලී පන්දු 34කදී හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 39ක් රැස් කළාය. 

පළමු කඩුලු 2 ලකුණු 03 කට දැවී යාම හේතුවෙන් ගාල්ල පිලේ ඉනිමට එතරම් සාර්ථක ආරම්භයක් නොලැබුණු නමුත් සංජනා කාවින්දි (21) සහ නෙතඟි ඉසුරාංජලී එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37 ක සම්බන්ධතාවයක් ගොඩනැංවූහ. සංජනා කාවිසින් දැවීයාමෙන් පසුව එක්වූ සොහොයුරියෝ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 103ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩනඟමින් කණ්ඩායම ලකුණු 143 ක් කරා කැඳවාගෙන ගියහ. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ පිල ඕවර 12 කදී ලකුණු 53 කට සීමා කිරීමට ගාල්ල පිලේ ෂෙහාරා ඉදුවරී සහ දිනිති ප්‍රතිභාෂිනී ඇතුළු පන්දු යවන්නියෝ සමත්වූහ. පිතිකාරිණියන් දෙදෙනෙකු පමණක් ලකුණු 10 සීමාව ඉක්මවූ අතර, දක්ෂ පන්දු යැවීමක නිරතවූ ෂෙහාරා ඉදුවරී ලකුණු 10කට කඩුලු 4ක් දවාලීමට සමත්වූවාය.

දිවයිනේ වයස අවුරුදු 19න් පහළ සීමාවට අයත්වන දක්ෂතම ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත සුපිරි පළාත් කණ්ඩායම් 4 ක් මෙම තරගාවලියට එක්ව සිටි අතර, පළමු වටයේදී එක් කණ්ඩායමකට තරග 6කට සහභාගී වීමට අවස්ථාව හිමි වන අයුරින්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම තරගාවලිය සංවිධානය කර තිබුණි.

පළමු වට‌යේදී සහභාගි වූ තරග 6න් තරග 5ක් ජයගනිමින් ගාල්ල පිල අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, සහභාගි වූ තරග 6 න් තරග 3ක් පමණක් ජයගත් කොළඹ පිල ද මෙවර තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූහ. 

දඹුල්ල පිලේ නෙත්මි කවීෂා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබූ අතර, ගාල්ල පිලේ නායිකා රෂ්මි සංජනා තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නිය ලෙස සම්මාන ලැබුවාය. ගාල්ල පිලේ සංජනා  කාවින්දි තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය ලෙස සම්මාන ලැබුවාය. ගාල්ල පිලේ නෙතගි ඉසුරාංජලී අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටු සභාපති නලීන් අපෝන්සු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් සංවර්ධන කමිටු සභාපති එස්. බගීදරන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් ජ්‍යෙෂ්ඨ කළමණාකරු රොෂාන් බියන්විල යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජය සංඛේත ප්‍රදානය සිදු කෙරිණි.

 

ගාල්ල කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 3 ට 143 යි
(නෙතඟි ඉසුරාංජලී නොදැවී 77, රශ්මි නේත්‍රාංජලී නොදැවී 39, සංජනා කාවින්දි 21)

කොළඹ කණ්ඩායම - ඕවර 12 කදී සියලු දෙනා දැවී 53 යි 
(නෙතුකි කුඩලිගම 11, ඔනාලි අධීෂා 11, ෂෙහාරා ඉඳුවරී 10/4, දිනිති ප්‍රතිභාෂිනී 19/2)


ජයග්‍රාහී ගාල්ල 19 න් පහළ කණ්ඩායම 
රෂ්මි සංජනා (නායිකා), සංජනා කාවින්දි, රශ්මි නේත්‍රාංජලී, දිනිති ප්‍රතිභාෂිනී, සෙත්මි නෙහාරා, හිරුණි හංසිකා, චමෝදි හේරත්, කවිෂා සත්සරණි, එස්. වර්ෂනී,  ලක්නි නිම්සරා, නෙත්මි සංසලා, නෙතඟි ඉසුරාංජලී, අප්සරා මධුමාලි, ෂෙහාරා ඉඳුවරී සහ ශෂිනි උමාෂා,  ජයතු නිලවීර (ප්‍රධාන පුහූණුකරු), තරිඳු තෙබුවන (සහාය පුහුණුකරු). මධුරි සමුද්ධිකා (කළමණාකාරිණිය) 


අදහස් (0)

ගාල්ල ක්‍රීඩිකාවෝ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.