Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් පිලට ඓතිහාසික ජයක්

කොදෙව් පිලට ඓතිහාසික ජයක්

editorial - 2021 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කයිල් මේයර්ස් (නොදැවී 210) ලබාගත් විශිෂ්ට ද්විත්ව ශතකය හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව චැටෝග්‍රෑම්හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක වාර්තාගත ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ අද (7 වැනිදා) සමත් වූහ. 

මේයර්ස්ගේ ද්විත්ව ශතකයට පින්සිදු වන්නට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පස්වැනි ඉහළම හඹායෑම සාර්ථක කරගත් කොදෙව්වෝ, ජයග්‍රහණය සඳහා හඹාගිය ලකුණු 395 ක ඉලක්කය කඩුලු 7 ක් පමණක් දැවී සපුරාගත්හ. ටෙස්ට් තරගයක ඉහළම හඹායෑම ලෙස සැලකෙන ලකුණු 418 වාර්තාවටද කොදෙව්වන් හිමිකම් කියන අතර දකුණු අප්‍රිකාව (414), ඕස්ටේ්‍රලියාව (404) සහ ඉන්දියාව (403) ඊට පසුපසින් රැදී සිටියි. 

ටෙස්ට් තරගයක සිවුවැනි ඉනිමේදී ක්‍රීඩකයෙක් ද්විත්ව ශතකයක් ලබාගත් පළමු අවස්ථාව මෙන්ම මංගල ටෙස්ට් තරගයේදී ක්‍රීඩකයෙක් ද්විත්ව ශතකයක් ලබාගත් 6 වැනි අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක් විය. මේයර්ස්ට පෙර එංගලන්ගයේ ආර්. ඊ. ෆොස්ටර් (287), බටහිර ඉන්දීය කොදෙව්හි ලෝරන්ස් රෝ (214), ශ්‍රී ලංකාවේ බ්‍රෙන්ඩන් කුරුප්පු (නොදැවී 201), නවසීලන්තයේ මැතිව් සින්ක්ලෙයාර් (214) සහ දකුණු අප්‍රිකාවේ ජැක් රුඩොල්ෆ් (නොදැවී 222) යන ක්‍රීඩකයෝද සිය මංගල ටෙස්ට් තරගවලදී ද්විත්ව ශතක ලබාගත්හ. 

සිවුවැනි දිනය වූ සෙනසුරාදා (6 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 110 ක් ලබා සිටි කොදෙව්වෝ කඩුලු 7 ක් අතැතිව ජයග්‍රහණයට තවත් ලකුණු 285 ක් පසුපසින් සිටියහ. ඒ වන විට ලකුණු 37 ක් ලබා නොදැවී කඩුල්ලලේ රැදී සිටි මේයර්ස්, තරගය නිමාවන විට නොදැවී ලකුණු 210 ක් ලබා නොදැවී සිටියේ සිය ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 20 ක් අන්තර්ගත කරමිනි.  

එහිදී කෲමර් බෝනර් (86) සමග එක්වූ මේයර්ස්, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 216 ක අගනා සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමීය. ඉන් අනතුරුව ජොෂුවා ද සිල්වා (20) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක සම්බන්ධතාවක්ද ගොඩනැගූ මේයර්ස් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.  

බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 430 
(ශද්මන් ඉස්ලාම් 59, නජ්මුල් හොසේන් 25, මොමිනුල් හක් 26, මුෂ්ෆිකුර් රහීම් 38, සකීබ් අල් හසන් 68, ලිටන් දාස් නොදැවී 38, මෙහෙදි හසන් 103, තයිජුල් ඉස්ලාම් 18, නයීම් හසන් 24, ජොමේල් වැරිකන් 133/4, රකීම් කෝන්වෝල් 114/2) 

බ.ඉ. කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 259 
(ක්‍රේග් බ්‍රැත්වේට් 76, කෲමර් බෝනර් 17, කයිල් මේයර්ස් 40, ජර්මේන් බ්ලැක්වුඩ් 68, ජොෂුවා ද සිල්වා 42, මෙහෙදි හසන් 58/4, මුස්තෆිසුර් රහමන් 46/2, නයීම් හසන් 54/2, තයිජුල් ඉස්ලාම් 84/2) 

බංග්ලාදේශ දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 223 
(මොමිනුල් හක් 115, මුෂ්ෆිකුර් රහීම් 18, ලිටන් දාස් 69, ජොමේල් වැරිකන් 57/3, රකීම් කොන්වෝල් 81/3, ශැනන් ගේබි්‍රයල් 37/2) 

බ.ඉ. කොදෙව් දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 395  
(ක්‍රේග් බ්‍රැත්වේට් 20, ජෝන් කැම්බල් 23, කෲමර් බෝනර් 86, කයිල් මේයර්ස් නොදැවී 210, ජොෂුවා ද සිල්වා 20, මෙහෙදි හසන් 113/4, තයිජුල් ඉස්ලාම් 91/2) 

-036


අදහස් (0)

කොදෙව් පිලට ඓතිහාසික ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.