Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රීඩාපිටිය වර්ණවත් කළ වර්ණපුර

ක්‍රීඩාපිටිය වර්ණවත් කළ වර්ණපුර

editorial - 2021 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මුල්ම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුරගේ අභාවය නිමිත්තෙනි.

සියල්ලෝ නැගී සිට ඔල්වරසන් හඬ දුන්හ. නිම් හිම් නැති සතුටින් ඉපිල ගොස් ජය ඝෝෂා පැවැත්වූහ. පැරැණි බණ පොත්වල එන කතා සිහිපත් කරමින් ජනී ජනයාගේ උදම් රාවයෙන් කෙළි පිටිය එකනින් නාද විය. ඉන් නැගුණු ඝෝෂාව ගගන තරංග ඔස්සේ ගුවන් ගැබ සිසාරා විහිදෙමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයකුගේ කීර්ති නාමය අප දිවයින පුරාත්, සාගරය ඔස්සේ දේශයන්ටත් විහිදුවාලූයේය.

මේ අසහාය කීර්ති ලද තැනැත්තා සටනකින් ජයක් ලද්දෙකි. ඒත් ඒ ජයග්‍රහණය ජන නාශක සංග්‍රාමයකින් ලද්දක් නොවීය. එය විනෝදාස්වාදය හා ත්‍රාසය ගෙන දෙන ක්‍රීඩාවකින් ලද්දකි. ඒසා සුවිශේෂ කීර්තියක් හිමි කොටගත් ක්‍රීඩකයා එතරම් ප්‍රබල කාය ශක්තියක් සහිත අයකු නොවේ. එසේ වුව ද ප්‍රවීණ ක්‍රීඩාශීලීත්වය, ඉවසීම, කෘතහස්තතාව, සාමූහික ව්‍යායාමය කෙරෙහි දක්වන විශ්වාසයත් ඔහුගේ ජයග්‍රහණයේ පදනම වෙයි.

මීට හරියටම වසර 40කට පෙර එනම්, 1981 මැයි 9 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර හමු වීමට ගිය බව මගේ පරණ සටහන් පොතක ලියැවී තිබුණි. කලාකීර්ති (පසුව ආචාර්ය) එඩ්වින් ආරියදාසයන් විසින් සංස්කරණය කළ ‘නවයුගය’ පුවත්පත සඳහා ඔහුගේ උපදෙස් මත ලිපියක් ලිවීමටය ඒ. එම ලිපිය 1981 මැයි 12 පුවත්පතේ පළ විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ අමරණීය දිනය කවදා දැයි කිසිවකුගෙන් ඇසුවොත් එදා (80 දසකයේ) ඔවුන් නොපැකිලව කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් යුතුව ජය කෙහෙළි නැංවූ දිනය බවය.

එදා වර්ණපුරගේ නායකත්වය බබළවමින් ඔහු ක්‍රීඩාලෝලීන්ගේ වීරයා වූ දිනය විය. එය අතිශයින්ම දුර්ලභ දිනයක් විය. ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 106ක් ඔහු ලබාගත් ඒ දිනය ක්‍රීඩා ඉතිහාසයේ අමරණීය දිනයක් විය. 

එදා මා බන්දුල වර්ණපුර හමුවීමට යනවිට ඔහු සිටියේ, ඒ ජයග්‍රහණය ලැබූ දිනයට පසුව සවස් යාමයේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ තණ නිල්ලේය. සෙසු ක්‍රීඩකයන් පුහුණු වෙද්දී වර්ණපුර සිටියේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනකු වූ අනුරුද්ධ පොළොන්නෝවිට හා මයිකල් තිසේරා සමග කිසිවක් ගැන කතා කරමිනි. පසු දින මහා ක්‍රීකට් තරගය සංවිධාන කටයුතු කරමින් සිටිය ද අපගේ ඉල්ලීම මත ඔහු වටිනා කාලය නිහතමානීව ලබාදුන්නේය. අප සමග කතා කරද්දී ඡායාරූප ශිල්පී රෝලන්ඩ් පෙරේරාගේ කැමරාවේ විදුලි බුබුළු වරින් වර දැල්වී නිවී යද්දී බන්දුල වර්ණපුරගේ සිත වරින් වර ඇදී ගියේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පුහුණු වන ක්‍රීඩකයන් වෙතය. මුලින්ම අප ඔහුගේ ගම රට තොරතුරු දැන ගතිමු.

“මම උපන්නේ 1953 මාර්තු 1 වැනිදා රඹුක්කන බෙලිගොඩපිටියේ. මගේ පියා වූ ලීලානන්ද ප්‍රනාන්දු ඉංග්‍රීසි වෛද්‍යවරයෙක්. හය දෙනකුගෙන් යුත් පවුලක මම හතර වැනියා. මම මුලින්ම ඉගෙන ගත්තේ බම්බලපිටියේ සාන්ත පීටර්ස් විද්‍යාලයේ. ඊට පස්සේ මගේ පියාට ඕනෑ වුණා මාව බෞද්ධ විද්‍යාලයකට යවන්න. කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කරන්න හිටිය පියාගේ සිහිනය බොඳ වීම නිසා 1961 වසරේ පියා මාව කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් කළා.” බන්දුල යළිත් ක්‍රීඩාපිටියට සිත් යොමු කළේය.

බන්දුලගේ පියාත්, අයියලා දෙන්නාත් හොඳ ක්‍රීඩකයෝ වූහ. බම්බලපිටියේ සාන්ත පීටර්ස් කණ්ඩායමත්, රගර් කණ්ඩායම්වලට ක්‍රීඩා කළ දක්ෂ මලල ක්‍රීඩකයෙක්වූ. බන්දුලගේ අයියා සරත් ප්‍රනාන්දු ආනන්දයේ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර අනිත් අයියා උපාලි වර්ණපුර නාලන්දේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළේය.

“අයියලා දෙන්නා ආනන්දෙටත් නාලන්දෙටත් ක්‍රිකට් ගහපු නිසා බිග් මැච් එක දවසට මේ දෙන්නා අතර ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම නතර වෙන්නේ අම්මයි, තාත්තයි මැදිහත් වෙලා. මට ක්‍රිකට් ක්‍රීඩාවට උනන්දුව ඇති වුණේ අයියලා දෙන්නා ක්‍රිකට් ගහනවා දැකීමෙන්. අයියලා දෙන්නා මගේ මුල්ම ගුරුවරුන් දෙන්නා. 1968 දී මම අවුරුදු 14න් පහළ නාලන්දේ ක්‍රිකට් කණ්ඩායමට තේරුණා. එක තරගයකදී මම ලකුණු 85ක් ලබාගත්තා. එදා තාත්තාටයි අයියලාටයි හරිම සතුටුයි. දවසම ඒක ගැනමයි. ඊට පස්සේ අවුරුදු 16න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරලා 1971 වසරේ 19න් පහළ කණ්ඩායමේ නායකයා වුණා.”

බන්දුල වර්ණපුරගේ ක්‍රිකට් ජීවිතයේ මුල්ම ස්වර්ණමය දිනය 1972 දී 43 වැනි ආනන්ද හා නාලන්ද ක්‍රිකට් තරගයේදී වසර 43කට ඉහත නාලන්දේ පී.එම්. ජයතිලක විසින් නොදැවී ලබාගත් ලකුණු 111 අබිබවා ලකුණු 118ක් නොදැවී ලබාගැනීමය. (පසුව මේ වාර්තාව ආනන්දේ ප්‍රසන්න අමරසිංහ බිඳ හෙළීය.) එපමණක් ද නොව බන්දුල 1972 ලංකා පාසල් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු පාසල් ක්‍රිකට් තරගයේදී ලබාගත් ලකුණු 104ට හතරේ පහරවල් 21ක් ලබාගත්තේය.

1972 ශ්‍රී ලංකාවට පැමිණි මැලේසියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 294ක් ඔහු ලබාගත් අතර, 1975 පෘඩන්ෂල් ප්‍රථම ලෝක කුසලාන තරගයට ද 1976-77 වර්ෂවල ඔහු එංගලන්තයේ ලැන්කැෂියර් ලේලන්ඩ් ක්‍රිකට් කණ්ඩායමට ද ක්‍රීඩා කරමින් කුසලතා දැක්වීය.

‘ඔබේ ළමා කාලය ගත වුණේ කෙසේ ද’ යි අප ඔහු ක්‍රීඩා පිටියට නෙත් සිත් දල්වා සිටි විට ඇසුවේය.

“මම පුංචි කාලේ හරිම චණ්ඩියා. හරිම දඟලු. ඒ වුණාට පන්තියේ මොනිටර් මම. පුංචි කාලේ ඉඳලාම නවකතා කියවන්න ආසයි. මම පොත්පත් කියවන්න, චිත්‍රපට, නාට්‍ය, චිත්‍ර ප්‍රදර්ශන බලන්න, සංගීතය රසවිඳින්න මම නැඹුරු වුණේ මගේ ආදරණීය බිරිය (හේමමාලි අරඹවෙල) නිසා. නැත්නම් මගේ දින චර්යාව සකස් වෙලා තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවට. මගේ ක්‍රීඩා ජීවිතය නමැති ඉණිමග කෙළවරටම ළඟාවෙන්න පුළුවන් වුණා.” ඔහු සිනාසෙමින් කීවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ ද නායකයා වූ ඔහු 1981 එංගලන්තයේ පැවැත්වෙන ක්‍රිකට් තරගයේ ද ලංකා පිල මෙහෙයවන බව කීවේය.

“මගේ ඉලක්කයට ක්‍රිකට්වලින් ඇවිත් ඉවරයි. මම දැන් ඕනෑ වෙලාවක නායකත්වය ලබාදෙන්න සූදානම්. අපේ කණ්ඩායමේ නායකත්වයට එන්න පුළුවන් අය ඉන්නවා.” ඔහු කීවේය.
වර්ණපුරගේ ප්‍රියතම විදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ විවියන් රිචඩ්ස් හා මයිලක් හෝල්ඩින් ය.

“මා ඉගෙනගත් නාලන්දෙට මට තියෙන්නේ ලොකු භක්තියක්. උතුරා යන ආදරයක්. මගේ විද්‍යාලයීය ක්‍රීඩා භාර ආචාර්යවරුන් වන ප්‍රේමසර ඈපාසිංහ, නෙල්සන් මෙන්ඩිස්, ජෙරී ගුණරත්න මහතුන් මගේ ක්‍රිකට් ජීවිතයට අත්තිවාරම දැම්මා. මගේ උපදේශක අර්ලි වික්‍රමසිංහ මට කිසිදා අමතක වෙන්නේ නෑ. මගේ පියා, අයියලා දෙන්නා වගේම මේ ඉහත කී ගුරු භවතුන්ට මගේ ස්තුතිය පිරිනමනවා.”

බන්දුල වර්ණපුර යනු ක්‍රිකට් පුරාවෘත්තයකි. ඔහුගේ අභාවය ක්‍රීඩාලෝලීන්ට, ක්‍රීඩකයන්ට බලවත් ශෝකයට හේතුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔහු පෞරුෂත්වයකින් හෙබි එහෙත් නිහතමානී ගති පැවැතුම් ඇති ක්‍රීඩකයෙකි. සිංහලකම, ගැමිකම, බුදු දහමෙන් හික්මුණු, පිදිය යුත්තන් පුදන, ආදර්ශවත් සැමියකු මෙන්ම දයාබර පියෙකි.

ගමක ඉපිද සෙයිලමේ නාලන්දේ ඉගෙන අපේ මව්බිම වෙනුවෙන් ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයා මෙන්ම සිංහල බෞද්ධ නායකයා ලෙස ඔහු ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන පුරාවෘත්තයකි.

ඒ.ඩී. රන්ජිත් කුමාර

ශ්‍රී ලංකාව සහභාගී වු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී බන්දුල වර්ණපුර එංගලන්ත නායක කීත් ප්ලෙවර් සමඟ කාසියේ වාසිය උරගා බැලීමට යද්දී

වර්ණපුර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු පන්දුවට මුහුණ දුන් අවස්ථාව


අදහස් (0)

ක්‍රීඩාපිටිය වර්ණවත් කළ වර්ණපුර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.