Last Update  :  2025-08-14 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.පී.එල්. තරගාවලියෙන් තරු පොකුරක් හැළෙයි

එල්.පී.එල්. තරගාවලියෙන් තරු පොකුරක් හැළෙයි

editorial - 2020 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(යොහාන් භාසුර සහ රොෂාන් ගුණරත්න )
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට (එල්.පී.එල්.) තෝරාගෙන සිටින අන්තර්ජාතික මට්ටමේ ජනප්‍රිය ක්‍රීඩකයන් කිහිප දෙනකුම තරගාවලියෙන් ඉවත් වන බව වාර්තා වේ. එල්.පී.එල්. තරගාවලියෙන් ඉවත්ව යන ක්‍රීඩකයන් අතර ඬේවිඞ් මිලර්, ෆෆ් ඩු‘ප්ලෙසි, ඬේවිඞ් මැලන් සහ කොදෙව් ක්‍රීඩකයන් වන ක්‍රිස් ගේල් මෙන්ම ඔන්ඩ්‍රි රසල් ද සිටින බව වාර්තා වේ.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර නොවැම්බර් මස 27 වනදා ආරම්භවන සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කළ සංචිතවලට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් වන ඬේවිඞ් මිලර් සහ ෆෆ් ඩු ප්ලෙසිස් දෙදෙනාත්, එංගලන්ත ක්‍රීඩක ඬේවිඞ් මැලන් ඇතුළත්ව සිටින බැවින් ඔවුන්ට එල්.පී.එල් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබේ.

ක්‍රිස් ගේල් මේ වන විට අයි.පී.එල්. තරගාවලියේ කිංග්ස් XI පංජාබ් පිල නියෝජනය කරමින් සිටින අතර ඔහු සහ මහනුවර ටස්කර්ස් පිලේ අයිතිකරුවන් අතර කොන්ත්‍රාත්තුව පිළිබඳව තවමත් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවද වාර්තා වේ. එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීම සඳහා ක්‍රිස් ගේල් ඩොලර් ලක්‍ෂයක මුදලක් බලාපොරොත්තු වන බවත් දැනට ඔහු වෙනුවෙන් ලැබී ඇති ලංසුව ඩොලර් 60,000 ක පමණක් බවත් දැනගන්නට ඇත.

මහනුවර ටස්කර්ස් පිලේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ එම කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයන් පිළිබඳ සියලුම කටයුතු කණ්ඩායමේ අයිතිකරුවන් වන ඉන්දීය ජාතිකයන් විසින් මෙහෙයවනු ලබන බවයි.

“කණ්ඩායමට කළමනාකරුවකු හෝ මේ දක්වා පත්කර නෑ. ඉදිරි දින කීපයේදී විදේශීය ක්‍රීඩකයන් සහ සෙසු අවශ්‍යතා පිළිබඳව කටයුතු කරයි කියලා මම හිතනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මේ අතර ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් පත වාර්තා කර තිබුණේ අයි.පී.එල් තරගාවලියේදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔන්ඩ්‍රි රසල්ද තරගාවලියෙන් ඉවත්වී ඇති බවයි. එහෙත් එල්.පී.එල්. තරගාවලියෙන් ඉවත් වී ඇතැයි කියැවෙන ඉන්දීය ක්‍රීඩක මන්වින්දර් බිස්ලා ඒ සම්බන්ධයෙන් කිසිදු හේතුවක් ඉදිරිපත් කර නැත.

එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය තහවුරු වූ වහාම දකුණු අප්‍රිකාවේ සහ එංගලන්තයේ ක්‍රීඩකයින් එල්.පී.එල්. තරගාවලියෙන් ඉවත් වනු ඇතැයි කල්තියාම අනුමානයක් පැවතිණ. එහෙත් ඔන්ඩ්‍රි රසල්ගේ ඉවත්ව යෑම පුදුමයට කරුණකි.

දණහිසේ ආබාධයක් හේතුවෙන් ඔක්තෝබර් 18 වන දින සන්රයිසස් හයිද්‍රාබාද් පිලට එරෙහිව පැවති තරඟයෙන් පසු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් රසල් ක්‍රීඩා කර නැත. එසේ වුවත් ඔහු තවමත් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වී නැත.

ඔන්ඩ්‍රි රසල්, ඬේවිඞ් මිලර්, ෆෆ් ඩු ප්ලෙසිස් සහ ඬේවිඞ් මැලන් යන ක්‍රීඩකයන් සිවුදෙනාම එල්.පී.එල් තරගාවලියේ ඔවුන්ගේ කණ්ඩායම් සඳහා තෝරාගන්නා ලද සුවිශේෂී ක්‍රීඩකයෝ වූහ.
 
මෙම ක්‍රීඩකයන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ අදාල ක්‍රීඩකයන් එල්.පී.එල්. තරගාවලියට සහභාගි නොවන බවට නිලවශයෙන් දැනුම්දී නොමැති බවයි.

“දකුණු අප්‍රිකානු සහ එංගලන්ත ක්‍රීඩකයන්ට තරගාවලියක් තිබෙන නිසා සහභාගි වෙන්න බැරි වෙයි. ‘නිරෝධානය’ වීමට සිදුවීම නිසා ඔවුන්ට පසුව හෝ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවෙනවා” යැයි ද එම නිලධාරියා ලංකාදීපයට වැඩි දුරටත් පැවසීය.

‘මහනුවර ටස්කර්ස්’ පිලට තෝරාගෙන සිටින විස්සයි20 ලෝක ක්‍රිකට් පිටියේ ජනප්‍රියම ක්‍රීඩකයා වන ක්‍රිස් ගේල් ද එල්.පී.එල්. තරගාවලියට සහභාගි වීම ද අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ.

එල්.පී.එල් තරගාවලි ආරම්භයට මාසයක් වැනි අඩු කාලයක් තිබියදීත්, තරඟාවලියෙන් ඉවත් වීමට ක්‍රීඩකයන්ට සැලකිය හේතු ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් පත කියයි. නිරෝධායන ක්‍රමවේදයට ඇති අකමැත්ත එක් වැදගත් කරුණක්වී ඇත.

හෝටල් කාමරයකට වී දින 14 ක් නිරෝධායනය විය යුතු බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර ඇති අතර සමහර ක්‍රීඩකයින් ඒ පිළිබඳව අප්‍රසාදය පළ කර තිබේ.

කාලෝස් බ්‍රැත්වෙයිට් (බටහිර ඉන්දීය කොදෙව්), සමිට් පටෙල් සහ ලයම් ප්ලන්කට් (එංගලන්තය), සහිඞ් අෆ්රිඩි, මොහොමඞ් අමීර්, සෆ්රාස් අහ්මඞ්, අසාම් ඛාන්, ෂොයිබ් මලික්, උස්මාන් ශින්වාරි, අසීෆ් අලී සහ වහබ් රියාස් (පාකිස්තානය), කොලින් ඉන්ග්‍රම් (දකුණු අප්‍රිකාව), හස්රතුල්ලා ශෂායි සහ නවීඞ් උල් හක් (ඇෆ්ගනිස්තානය), මන්ප්‍රිත් ගෞනී, මන්දීප් සිං (ඉන්දියාව), රවීන්ද්‍රපාල් සිං (කැනඩාව) සහ පෝල් ස්ටර්ලින් (අයර්ලන්තය) මෙම තරගාවලිය සඳහා මේ දක්වා කණ්ඩායම්වලට ඇතුළත්ව සිටින සෙසු විදේශීය ක්‍රීඩකයෝ වෙති.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල කාලසටහන පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්කළ අතර නොවැම්බර් 21 වන දින හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන කොළඹ කිංග්ස් සහ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර තරගයෙන් තරගාවලිය ආරම්භවීමට නියමිතව ඇත.

මෙම තරඟාවලියේදී දින 15 ක කාලයක් තුළ කණ්ඩායම් 5 ක් තරඟ 23 කට සහභාගී වෙති.

අවසන් පූර්ව තරග දෙක සහ අවසන් මහා තරගය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරඟාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් 13 වැනදා පැවැත්වෙන අතර දෙසැම්බර් 14 අතිරේක දිනයක් ලෙස වෙන්කර ඇත.

 


අදහස් (0)

එල්.පී.එල්. තරගාවලියෙන් තරු පොකුරක් හැළෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.